(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය තම පක්ෂ අරමුදලින් ජනතාවට බෙහෙත් ටික, පාසල්වලට බස් රථ, පරිගණක ලබා දෙන විට අපහාස කරන පුද්ගලයන් කැට හොල්ලා ජනතාවගේ මුදල් රැස්කර ඔවුන්ගේ පක්ෂ කාර්යාල අධි සුඛෝපභෝගී ලෙස සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (29) පැවසීය.

අපහාස උපහාස නොකර තමන්ට තිබෙන අයුරින් හෝ දුප්පත් අසරණ මිනිසුන්ට උපකාර කරන ලෙස එම කණ්ඩායම් වලින් තමන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක 54 වැනි සක්වල වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා  බස්රථයක්  අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසැලට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වේදිකා මත බෙරිහන් දෙන ඇතැම් පුද්ගලයන්ට වැඩ පිළිවෙලක් නොමැති බවත්  තමන්ට හොරු අල්ලා දූෂණය පරාජය කර රට දියුණු කිරීමට විශාල අවශ්‍යතාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී  කීවේය.