(ඩයනා උදයංගනී)
මෙරට වසර 48,000කට පමණ පෙර ජීවත් වූ ආදිවාසීන් සතුන් දඩයම් කිරීම සඳහා සත්ව අස්ථිවලින් නිපදවූ ඉතා දියුණු ඊතල හා වෙනත් මෙවලම් භාවිතා කර ඇති බවත්, අප්‍රිකානු කලාපයෙන් පසු දුනු හා ඊතල භාවිතා කළ ලොව ප්‍රථම රට ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් ඇතුළු දෙස්විදෙස් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් පාහියංගල ලෙනෙහි සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකදී හෙළිවී තිබේ.
මෙම කණ්ඩායම විසින් පාහියංගල ලෙනෙහි වසර ගණනාවක් සිදුකළ ගවේෂණයකදී හමුවූ මෙවලම් කොටස් පරීක්ෂා කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව අප්‍රිකානු කලාපයෙන් පිටත සොයාගත් පැරණිතම සත්ව අස්ථි මෙවලම් මෙම ගවේෂණයේදී හමුවී ඇත.
මෙම සොයාගැනීම සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තරයේ ද අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යාඥයින් මෙන්ම ජර්මානු සහ ඕස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායම් එක්ව පාහියංගල ලෙන ආශ්‍රිතව 2009 වසරේ පමණ සිට පර්යේෂණ සිදුකර තිබේ.
මෙම පුරාවිද්‍යා ගවේෂණය සඳහා සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.එම් පත්මලාල් මහතා පැවසුවේ මෙම මෙවලම්සම්බන්ධව ජාත්‍යන්තර විද්‍යාගාරයන්හි සිදුකළ කාල නිර්ණයේදී ඒවා වසර 48,000ක් පමණ පැරණී ඒවා බව තහවුරු වී ඇති බවයි.
හොරණ, බුලත්සිංහල පාහියංගල ලෙනෙහි 2009 වසරේ සිට 2012 වසර දක්වා තම කණ්ඩායම කැණීම් හා පරීක්ෂණ සිදුකළ බවත් එහිදී මෙවන් මෙවලම් කොටස් 130ක් පමණ සොයාගත් බවත් ඔහු සඳහන් කළේය.
සත්ව අස්ථිවලින් තනා ඇති මෙම ආයුධ වේගයෙන් ගමන් කරන වඳුරන්, ලේනුන් වැනි කුඩා සතුන් දඩයම් කිරීම සඳහා යොදාගත් ඒවා බව පෙනී යන්නේ යැයි ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
මේවා දුරක සිටින සතකු දෙසට විසිකළ හැකි ආකාරයේ ඒවා බව ද පත්මලාල් මහතා පැවසීය.
මීට අමතරව මසුන් ඇල්ලීමේදී යොදාගන්නට ඇතැයි සිතිය හැකි ආයුධ මෙවලම් කොටස් ද මෙම ගවේෂණයේදී හමුවී ඇත.
මෙම සොයාගැනීම මෙරට ආදි මානවයාගේ බුද්ධිමත්භාවය හා ඔවුන් භාවිතා කළ දියුණු තාක්ෂණය පිළිබඳ ප්‍රබල සාක්ෂියක් බව ද මහාචාර්යවරයා කීවේය.
දකුණු ආසියාවේ හෝමෝ සේපියන්වරුන්ගේ පැරණිතම ෆොසිල ඇති ස්ථානය ලෙස පාහියන් ලෙන සැලකෙන බවත්, එය මෙරට පැරණි මානවයාගේ අනුවර්තන හැකියාවන් හා සංස්කෘතික නම්‍යතාවයන් අවබෝධ කරගැනීම සඳහා ඉතා වැදගත් ස්ථානයක් බවත් ඔහු පැවසීය.
එමෙන්ම ශ්‍රී ලාංකික ආදි මානවයා එම කාලය තුළ රෙදි විවීමේ මෙවලම් භාවිතා කර ඇති බවත්, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂාවීම සඳහා ඔවුන් නූල් භාවිතයෙන් වියන ලද රෙදි භාවිතා කර ඇති බවත් මෙම ගවේෂණයේදී හමුවූ සාධක අනුව පෙනී යන්නේ යැයි ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මහතා සඳහන් කළේය.
මෙම ගවේෂණ කණ්ඩායම ආදි මානවයා විසින් භාවිතා කළ පබළු, පාෂාණවලින් තැනූ මුතු වැනි ආභරණ කොටස් ද සොයාගෙන ඇත.
පුරා විද්‍යාඥ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා, ඕස්ට්‍රේලියාවේ ග්රිෆ්ත් විශ්ව විද්‍යාලය හා ජර්මනියේ පුරාවිද්‍යා පර්යේෂණ ආයතනයක් නියෝජනය කරන නොයෙල් අමානෝ, නිකොල් බොයිවින්, මයිකල් ඩී. පෙට්‍රග්ලියා, සහ පැට්රික් රොබට්ස් යන අය මෙම ගවේෂණ සිදුකළ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රිකානු කලාපයෙන් පසු දුනු ඊතල භාවිතා කළ රට ශ්‍රී ලංකාව. අප්‍රිකාවේ ඉඳන් දඬුමොනරෙන් වෙන්න ඇති මෙහෙට ආවේ.. කරුණාකර මෙවැනි ප්රවෘත්ති පලකරන්න.
තව අවුරුදු 48000කට පස්සේ මේඩ් ඉන් චයිනා කියලා ලියපු දුනු ඊතල ලංකාවෙන් හමු වුණොත් පුදුම වෙන්න එපා.
සුද්දෝ මේ රටට ආවේ නැතිනම් අපේ අය තාමත් දුනු ඊතල තමයි පාවිච්චි කරන්නේ..
අතීතේ වර්ණනා කරකර හිටපල්ලා. වර්තමානේ පිහියක් හදා ගන්න බැරි එවුන් ඉන්නේ... අනාගතේ ගැන කියලා වැඩක් නෑ.
දැන් මෙතන කියලා තියනවද මේ ආයුධ අප්‍රිකාවේ ඉඳලා ගෙනාවා කියලා, එහෙම නැත්නම් අප්‍රිකාවේ ඉඳලා ආපු පිරිසක් මේ ආයුධ භාවිතා කළා කියලා. ලොව මේ දක්වා සිදුකර ඇති කැණීම් වලට අනුව අස්ථි වලින් තැනූ පැරණිම ආයුධ හමුවී ඇත්තේ අප්‍රිකාවෙන්... ඊට පසුව ලංකාවෙන්. පර්යේෂණ වල ප්‍රතිඵලවලට ගරහන්න එපා... ඒක අසත්‍යයි කියලා හිතෙනවා නම් ඔයාටත් පුළුවන් වෙනත් පර්යේෂණයක් කරලා තමන්ගේ මතය ඔප්පු කරන්න....
මම විදේශ නාලිකාවක විකාශනය කරපු මේ වාර්තාමය වැඩසටහන බැලුවා. ඇත්තටම අපේ රටේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳව විශාල ආඩම්බරයක් ඇතිවුණා. ඇත්තටම මෙවන් ඉතිහාසයක් ඇති අපිට ඇයි බැරි ලෝකය ජයගන්න? අපි එකාවන්ව දැන්වත් අධිෂ්ටාන කරගත්තොත් අනිවාර්යෙන්ම ආපසු අපිට ලොව ජාතීන් අතර මූලික තැනකට එන්න පුළුවන් වේවි...
අපි මෝඩ ජාතියක් නෙවෙයි, 2019 දීත් ලෝකේ බුද්ධිමත් ජාතින් අතර දර්ශකයේ දෙවැනි තැනට ඉන්නේ සිංහල ජාතිය. පළවෙනි තැන ඉන්නේ ඊස්රායෙල්වරු... අපි එකමුතු වෙලා අපේ බුද්ධිය හරියට මෙහෙයවුවොත් අපිට අවුරුද්දකදී දියුණුම රටවල් අතර ප්රමුඛ ස්ථානයකට පැමිණිය හැකියි...
සතුටුයි, නමුත් තාම දුනු, ඊතල වලින් එහාට යාගන්න බැරිවුණා.
පුරා විද්‍යාඥයින්ගේ සහ ඔවුන්ගේ අඩිපාරේ යන ශිෂ්‍යයින් මහාම මහා දුකක් විඳගෙන, කාෂ්ටක පරිසරයේ, සමහරවිට මහා ඝන වනාන්තරය මැද ඔවුන්ගේ කැනීම් කරන අකාරය මුල් වතාවට දුටුවිට මට ඒ ගැන මහා කලකිරීමක් ඇතිවුණා. ඒ වෙන මොකවත් නිසා නොවෙයි අවම පහසුකම් නැතිවයි ඔවුන් මේ " අපේ යටගියාව හොයන නොනවතින ගමන යන්නේ.. "ආහාර පාන, ගමනාගමනය, නැවතීමේ පහසුකම් ආදී සියලුම මිනිස් අවශ්‍යතා දෙවෙනියට තබා තමයි මේ වටිනා මිනිස්සු මේ කාර්යය හෙවත් කැනීම් කරන්නේ... ඊට කාලයකට පසු නැවත වෙනත් තැනක කැණීම් කරනවිට අපි සූදානම් වෙලාගියා. අපි රහසින්ම හොයාගත්තා එතන කීදෙනෙක් ඉන්නවද කියලා... අපි ගෙදරම ඒ අයගේ ආහාර සකස්කරලා, තව බිස්කට්, චොක්ලට්, විශේෂයෙන්ම ජලය ආදියත් රැගෙන ගියේ.. ඇත්තටම ඒ අය පුදුම වුණා. අපි ඒ සතුට බෙදාගත්තා. ඔබත් දවසක කොහේ හෝ පුරාවිද්‍යා කැණීම් නරඹන්නට යනවා නම් උදේ 10ට 11ට විතර යන්න. ඒ ගොල්ලන්ට අවශ්‍ය ආහාර, ජලය ආදිය අරගෙන ගියොත් කාෂ්ටක අව්වේ පිච්චි පිච්චි.. දහදිය වගුරවමින්. කුඩා පින්සලකින්, එහෙමත් නැතිනම් කුඩා හැන්දකින්.. අපේ අතීතය මතුකර ගන්න හදන සිංහල, දෙමළ, මුස්ලිම්, අපේම මිනිස්සුන්ගේ මුහුණු පිබිදේවි. සතුට කියන්නේ එයම නේද?
කෙබර කෙළින්න එපා මනුස්සයෝ... ඔහෙ මුළු ලෝකෙ හැමතැනම හාරලා බැලුවද?
බලාගෙන ගියාම අපිත් මාර පොරවල් අප්පා...
ආදි මානවයාගේ කතාව ඇත්ත නම් අග්ගඤ්ඤ සූත්‍රය බොරු... ආදි මානවයාගෙන් මිනිස්සු ඇතිවුණා නොවේ... මිනිසා ඊට සමාන්තරව දීර්ඝ කාලයක ඉඳන් හිටියා..
ඒකනේ පරණ පුරුද්දට අපේ අය හදිස්සියට තවමත් ඇති... , මුගුරු අරගෙන පාරට බහින්නේ...
ඊතල ගෙනාවේ අප්‍රිකාවෙන්? මම හිතුවේ චීනෙන් කියලයි.