(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුරයේ වැව්වල නෙළුම් මල් කඩා ගැනීම සදහා ගොවි සංවිධාන එම වැව් පුද්ගලයන්ට බදුදීම සම්බන්ධයෙන් අනුරාධපුර ජනතාව දැඩි ලෙස විරෝධය දක්වති.

මෙම වැව්වල නෙළුම් මල් කඩා ගැනීම සදහා ගොවි සංවිධාන එම වැව් පුද්ගලයන්ට බදුදීම නිසා කිසිදු ගම්වැසියකුට බුදුන් පිදීමට හෝ වෙනත් ආගමික වතාවකට නෙළුම් මලක් කඩා ගැනීම තහනම් වී ඇතැයි කියති.

නෙළුම් මල් කඩා ගැනීම සදහා වැව් බදු ගන්නා පුද්ගලයන් නෙළුම් මල් කඩා තොග වශයෙන් අනුරාධපුර පුජා භුමිය, නුවර දළදා මාලිගය ඇතුළු තවත් ප්‍රදේශවල මල් අලෙවි කරන වෙළෙදුන්ට අධික මිලකට අලෙවි කරති.

මේ නිසා ගම්වාසීන්ට මෙන්ම අනුරාධපුර ශ්‍රී මහ බෝධිය ඇතුළු අටමස්ථානය වැද පුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ට ද අධික මිලක් ගෙවා බුදුන් වැදීම සදහා නෙළුම් මල් මිලදී ගැනීමට සිදුව ඇත.

රුවන්වැලි මහ සෑය ආසන්නයේ දී එක් නෙළුම් මලක් රුපියල් 20 ත් 25 ටත් අලෙවි කරති. නියං සමයේ මල් මිල මීටත් ඉහළ යන බව ද මල් වෙළෙන්දෝ පැවැසූහ.