(උපාලි ආනන්ද)
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 7 දෙනා ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කළ ඉල්ලීමක් තඹූත්තේගම මහේස්ත‍්‍රාත් කේ. ඒ. රමිලා නදීෂානි මහත්මිය තරයේ ප‍්‍රතික්ෂේප කළාය.
එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත‍්‍රික් සාමාජික ප‍්‍රවර්ධන නිලධාරියා ලෙස කටයුතු කරන අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30 ට අධික දේපල අනර්ථයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව සියලු සැකකරුවන් ලබන ජූලි 8 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (24) යළි කැඳවූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණි.
තවදුරටත් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පී. සෝමදාස උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී. එම්.ආර්. සිරිපාල, තලාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික නුවන් තෙන්නකෝන් රාජාංගනය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් නිල්මිණි සහ ග‍්‍රාම නිලධාරී සහ ජගත් චන්ද්‍රසිරි යන සැකකරුවන් ඇතුළු හත්දෙනෙකි.
1999 වසරේ පැවැති ජනාධිපතිවරණ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පැවැති සමයේ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල ඇතුළු සැකකරුවන් මෙම අපරාධය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
අගතියට පත් පැමිණිලිකාර ආනන්ද වේරගොඩ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කිත්සිරි ද සිල්වා මහතා පෙනී සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් තඹුත්තේගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.කේ. අතුකෝරල මහතා සමඟ එම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර (අවුරුදු 30කට විතර පෙර) නගරාධිපති කෙනෙක් කිව්වාම උගත්, වැදගත් ප්‍රභූ චරිතයක්, දැන් නගරාධිපති කෙනෙක් කිව්වහම, බොහෝවිට හොර, මැරකම් වලින් පිරුණු රස්තියාදුකාර චරිතයක්. (හැමෝම නොවේ). අනේ රටකට ගිය කලක්... කරුණාකර කොට්ටාශ ක්‍රමය නැවත ඇතිකරන්න...
පොලිස්පතිතුමාට ජය සිකුරුයි. සත්‍යට ජය සිකුරුයි