Kate-1    

 

කේම්බි්‍රජ් ආදිපාවරිය තරම් පුවත් මවන කාන්තාවක් ලෝකයේ තවත් නැත. ඇය  අඳින පළඳින ආකාරය, කොණ්ඩා මෝස්තරය, හැසිරෙන ආකාරය, දරුවන් කෙරෙහි පවතින ආකාරය ආදී සියල්ලම මාධ්‍යවේදීන්ට ඉස්තරම් පුවත්ය. ඇගේ නැන්දම්මා වන ඩයනා පසුපස මාධ්‍යවේදීන් හඹා ගියේ යම් සේද, එලෙසින්ම දැන් කේට් මිඞ්ල්ටන් හඹා යන්නටත් ඔවුහූ පේවී සිටිති. ඇය පිළිබඳ මෙතෙක් නොපළ වූ දේවල් සොය සොයා පළ කරන්නට ඔවුහූ උත්සුක වෙති. මේ ඔවුන් විසින් අලුතින්ම සොයා ගනු ලැබූ පුවත් 14කි.

 

kate-split1--z
1. රාජකීය ජීවිතය පිළිබඳව ඇය අත්දැකීමක් මුලින්ම ලැබුවේ අවුරුදු 10 දීය. 1992 දී ඇගේ පාසලේ නිර්මාණය කරන ලද සින්ඩරෙල්ලා නාට්‍යයේ කුමාරයා ගේ චරිතය රඟපාන ලද්දේ කේට් මිඞ්ල්ටන් විසිනි. ආදරය සිතේ දරාගෙන තැවෙන කුමාරා ගේ මුවින් නික්මුණ ඇතැම් වාක්‍ය ඛණ්ඩ නාට්‍ය නැරඹූ අයට තවමත් මතකය.


“මම ආදරෙන් මත්වෙලා... මට කෑම කන්න බෑ.... නිදාගන්න බෑ... කිසිම දෙයක් ගැන හිතන්න බෑ...”

 


2. කේට් කුමරිය චිත්‍ර ශිල්පය කෙරෙහි බලවත් උනන්දුවක් දක්වන තැනැත්තියකි. ඇය ශාන්ත ඇන්ඩෲ  සරසවියෙන් චිත්‍ර ශිල්ප ඉතිහාසය හැදෑරුවාය. ඇය ඉතාලියේ ෆ්ලොරන්ස් සරසවියෙන්ද වසරක්ම චිත්‍රශිල්පය හදාරා තිබේ. 

 


3. ඡායාරූප ගැනීමට ඇය දක්‍ෂ පමණක් නොව බලවත් කැමැත්තක් ද දක්වන්නීය. විවාහ වෙන්නට පෙර ඇය ඇගේ දෙමව්පියන්ගේ සාද සංවිධාන ආයතනයේ ඡායාරූප රැගෙන ප්‍රචාරක කටයුතු කරන්නට පුරුදුව සිටියාය. මෑතකදී ඇය බෙහෙවින් ජනාදරයට පාත්‍ර වූයේ ඇය විසින් ගන්නා ලද ජෝර්ජ් කුමරුගේත්, චාලට් කුමරියගේත් ඡායාරූප මාධ්‍යවල පළවීමත් සමඟය. ඇය දක්‍ෂ ඡායාරූප ශිල්පිනියක බව සියල්ලෝම පිළිගත්හ.

kate-middleton-outfits

 


4. කේට් සහ විලියම් හමු වූයේ සරසවියේදීය. ඔවුන් දෙදෙනා එකම ගොඩනැගිල්ලක සිටියේ වුවත් විලියම් ඇය දුටුවේ පුණ්‍යායතනයකට ආධාර පිණිස පවත්වන ලද මෝස්තර ප්‍රදර්ශනයකදීය. අඩි 5 අඟල් 9ක් උස කේට්, විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී ඇවිදගෙන යනු බලන්නට විලියම් පවුම් 200ක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් මිළදී ගෙන තිබිණි.

 


5. ඇය බි්‍රතාන්‍ය ජාතික කාන්තාවක වුවත් පියාගේ පැත්තෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්ටද නෑදෑකම් ඇත්තියකි.

rex_royal_baby_shower_mi_130503_wblog

 


6. ඇය යම් ඇඳුමක් ඇඳ ප්‍රසිද්ධ ඡායාරූපයකට පෙනී සිටියේද, ඒ ඇඳුම් මෝස්තරය මිනිත්තු ගණනාවක් ඇතුළත විකිණී යන්නේ උණු කැවුම් ලෙසිනි.

 


7. රජ කුමරියක් වුවත් ඇය උයන්නට දක්වන්නේ බලවත් ආශාවකි. සොසේජ් සාදන යන්ත්‍රයක් ඇය සතුව තිබේ. ස්ට්‍රෝබෙරි ජෑම් සෑදීමට මෙන්ම ප්ලම් කල් තබා ගන්නට හැකි ආකාරයට සකස් කරන්නටද ඇය දක්ෂය. ඇය මේවා සාදා හිතවතුන්ට තෑගි දෙන්නීය.

 


8. ඩවුන් ටවුන් ඇබේ ටෙලි නාට්‍යයේ හොඳ රසිකාවියක වන කේට් කුමාරිය වරක් එය රූ ගත කරනවා නරඹන්නටද ගියාය. එහි නළු නිළියන් හා කතා කරන්නට පෙර ඇය ගියේ ඇඳුම්, කොණ්ඩ මෝස්තර, වේශ නිරූපණ අංශ නැරඹීමටය. ඉනික්බිතිව ඇය නාට්‍යය රූගත කරන ආකාරය ද බලා සිටියාය. 

 

Best-Kate-Middleton-Style-2014

 


9. ඇය වෛවර්ණ ඇඳුම්වලින් සැරසුණත් ඇය කැමැත්ත දක්වන්නේ සුදු පැහැයටය. 

 


10. විවිධාකාර තොප්පි, ආභරණ ආදිය පැළඳීමටද ඇය කැමැත්ත දක්වයි. ඇය සතුව ඇති තොප්පි ප්‍රමාණය 40කටත් වැඩිය. 

 


11. සමබර ආහාර වේලකට කැමැත්ත දැක්වූවත් ඇය පැණි රසට ඇලුම් කරන්නීය. ඇගේ ප්‍රියතම පැණිරස කෑම වර්ගය වන්නේ ඇලෙන සුලු ටොෆී පුඩිමය.

 


12. ඇය විලියම් කුමරා අමතන සුරතල් නම ‘බිග් විලී’ ය. එය කුමනාකාරයෙන් පැබැඳුණේ දැයි යන්න ඇයටම සීමා වූ රහසකි. 

 

kate-middleton-expecting-baby-no-3-1452145343-7077

 


13. බි්‍රතාන්‍ය ඉතිහාසයේ වැඩිම වයසේ රාජකීය මනාලිය වන්නේ කේට්ය. 2011 අප්‍රේල් 29 දා විලියම් හා විවාහ වනවිට ඇගේ වයස අවුරුදු 29කි. ඩයනා කුමරිය, චාල්ස් කුමරු හා විවාහ වූයේ අවුරුදු 20 දීය.

 


14. ඇය පැළඳියේ ඩයනා කුමරිය පැළැඳි විවාහ ගිවිස ගැනීමේ මුදුවමය. දිදුලන නිල් මැණිකක් සහිත මේ මුදුව ඩයනා පැළැඳි කාලයේදී එහි වටිනාකම පවුම් 60,000කි. ඒ 1981 දීය. දැන් එහි මැණික පමණක් පවුම් 300,000ක් වටිනාකමින් යුතු බැව් තක්සේරු කර තිබේ.


                                   චන්දි කොඩිකාර