(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර නගරයේ පිහිටි බන්ධනාගාරය ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි අක්කර 100 ක භූමියක ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී ඇතැයි පරිසර වනජීවි ඉඩම් ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා අද (02) දින පැවසීය.

ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙසේද පැවසීය.

     ‘‘අනුරාධපුර නගරයේ විශාල ඉඩම් ප්‍රමාණයක බන්ධනාගාරය පිහිටා තිබෙනවා.වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ඔයාමඩුව ප්‍රදේශයට රැගෙන යාමට කටයුතු කරමින් සිටියා.නමුත් රජය වෙනස් වීමත් සමඟ එම කටයුත්ත යටපත් වුණා.

මම නැවත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලිමක් කළා.අනුරාධපුර නගරය සංවර්ධනය කරන්න අවශ්‍ය ඉඩම් ප්‍රමාණය මේ බන්ධනාගරය ඉදිකොට ඇති ඉඩමේ තිබෙනවා.අක්කර 25 ක් පමණ භුමියක තමයි බන්ධනාගාරය ඉදිකොට තිබෙන්නේ.

මේ ඉඩම් ප්‍රමාණය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් අනුරාධපුරයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවන්නත් එම ඉඩම ලබාගන්න කටයුතු සැළසුම් කොට තිබෙනවා.ඒ නිසා බන්ධනාගාරය ඔයාමඩුවේ ඉදිකරන්න කටයුතු කරනවා.

ඒ අනුව ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි මෙම අක්කර 100 ක භුමිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයටත් යෝජනා කර තිබෙනවා.

නව බන්ධනාගාරය ඉදිකිරිම සදහා රජයේ මුදල් වියදම් කිරිමට බලාපොරොත්තු වෙන්නේ නැහැ.දැන් බන්ධනාගාරය පිහිටා ඇති ඉඩම අක්කර විසිපහක් පමන තිබෙනවා.

වාණිජ කටයුතු සංචාරක කටයුතු සඳහා යොදාගන්න ආයෝජකයන්ට ලබාදෙන්න.එම ආයෝජකයන් ගෙන් ලැබෙන මුදලින් තමයි නව බන්ධනාගාරය ඔයාමඩුවේ ඉදිකිරිමට සැළසුම් කොට තිබෙන්නේ.වසර තුනකින් පමන නව බන්ධනාගාර ඉදිකිරිම සඳහා සැළසුම් කොට ඇති‘‘ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.