(තුසිත කුමාර ද සිල්වා)
 
’දර්ගා ටවුන් බ්‍රේකින් නිව්ස්’ නමින් සාමාජිකයන් 100ක් අතර අන්තවාදයට පක්ෂපාත ’වට්ස්ඇප්’ ජාලයක්  මෙහෙයවූ මහ මොළකාර සැකකරු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් තිදෙනා  20 – 23 යන වයස්වල පසුවන්නෝ වෙති.  

මෙම ජාලයට සම්බන්ධව සිටි තවත් පුද්ගලයන් 25 දෙනෙකු අද (26) වහාම එම ජාලයෙන් ඉවත් වී ඇතැයි ද පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම වට්ස්ඇප් ජාලය වසර 3 ක පමණ කාලයක සිට මෙහෙය වූ ප්‍රධාන සැකකරු 23 වියේ පසුවන්නකු බවත්, ඔහු අලුත්ගම දර්ගා නගරය, ලෝටස් පාරේ පදිංචි අයකු බවත්, කලක් විදේශයේ සේවය කර මෙරටට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරු දින 3ක් රඳවා ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.

සෙසු සැකකරුවන් දෙදෙනාගෙන් ද මේ පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් ඉන් එක් අයෙකු දර්ගා නගරය, මතුගම පාරේ පදිංචි අයකු බවත් සෙසු සැකකරු ලෝටස් පාරේ පදිංචි 20 හැවිරිදි  තරුණයකු බවත් පොලිසිය සඳහන් කරයි.