කේ බුද්ධික කුමාරසිරි

ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ අලාභයක් සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා නඩත්තු ) කුමුදු විජේගුණවර්ධන මහතා පැවසීය.

ජලය ලබාදීම අත්හිටුවීමට සිදු වීම නිසා ජල පාරිභෝගික පවුල් ඒකක ලක්ෂයකට වැඩි පිරිසකට අසීරුතාවයට පත් වීමට සිදු වී ඇති බවත් ඒ මහතා පවසයි.

අදාල අනතුර නිසාවෙන් නල මාර්ගය පිළිසකර කිරීමට වැය වූ මිලියන 15 ක අලාභය අනතුර සිදුකල මෝටර් රථයේ හිමිකරුගේ පෞද්ගලික මුදලින් හෝ මෝටර් රථයෙහි රක්ෂණ ආයතනයෙන් ලබා ගැනීම සදහා ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

කෙසේ උවද කාළගුණික තත්වයන් යහපත් අයුරින් පැවතුනහොත් අද (18) දින අළුයම වන විට නල ජලය පාරිභෝගිකයන් වෙත ලබා දීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ජලය අත්හිටුවීම නිසාවෙන් පීඩා විදින රෝහල් සදහා ජල බවුසර් යොදා ගෙන ජලය ලබා දීමට කටයුතු කර ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල දෙස සිට හෝමාගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් පිටතට පැන අදාල ජල නලය මතට වැටීම නිසාවෙන් මෙම නලය ඊයේ (17) දින අළුයම 2 ට පමණ පිපිරීමට ලක්ව තිබුණි.