(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය මීරිගම මාර්ගයේ බාඳුරාගොඩ ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන්න ටිපර් රියක් අධිබල විදුලි රැහැන් කණුවක ගැටී නතරව තිබියදී එම අනතුරෙන් පැයකට පමණ පසුව එම මාර්ගයේ මීරිගම දෙසට ගමන් ගත් යතුරු පැදියක් ටිපර් රියේ ගැටීමෙන් යතුරු පැදිකරු මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
අදු (17) අලුයම සිදුවූ මෙම අනතුරෙන් මියගියේ දූනගහ කෙහෙල්ඇල්ලේ පදිංචිව සිටි පශූ සම්පත් දෙපාර්තමේන්තුවේ රියදුරකු වූ ටී.පී. තුෂාර චම්පික 44 හැවිරිදි එක්දරු පියෙකි.
මීරිගම දෙසට ගමන් කළ ටිපර් රිය එදින අළුයම 4.00 ට පමණ පාරෙන් ඉවතට පැන විදුලි කණුවේ ගැටී ඇත. එම අනතුරත් සමග අධිබල විදුලි රැහැන් කැඩී විදුලිය විසන්ධිවීම නිසා මහත් විනාශයක්වීම වැළකී ඇතැයි පොලිසිය කියයි. එහි රියදුරා රෝහල්ගත කර ඇත.
යතුරුපැදිය ටිපර් රියේ පිටුපස දකුණු පස රෝද යුගලය අසල ගැටී හිරවී සිටියදී සුවසැරිය ගිලන් රියක් මගින් තුවාලකරු දිවුලප්ටිය දිසා රෝහලට ඇතුළත් කර ඇතත් එහිදි මියගොස් ඇති බව හෙළිවී ඇත. යතුරු පැදියේ ඉදිරි පස කොටස දැඩිසේ හානි සිදුවී තිබිණි. මියගිය අය ඔහු සේවය කරන පශූ සම්පත් දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයාගේ නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි අනාවරණය වී ඇත.
මියගිය අයගේ මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක ඒ. ඉන්ද්‍ර කුමාර මහතා ඉදිරියේ දිවුලපිටිය දිසා රෝහලේදී පැවැත්විණි. දිවුලපිටිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හේමන්ත අල්විස් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.
මෙම අනතුරු නිසා පොත්තෙවෙල, බාඳුරාගොඩ, වත්තෙමුල්ල, උල්ලලපොල, හිරිකුළුව, ජයකොඞ්පුර, ගස්පේ, ඇතුලු පෙදෙස් ගණනාවක විදුලිය විසන්ධිව පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය විදුලි පාරිභෝගිකයනට අද (17) උදෑසන දැනුම් දෙනු ලැබීය. පැය අටක පමණ කාලයක් මෙසේ විදුලිය විසන්ධිව පැවතිණි. අනතුර නිසා විදුලි බල මණ්ඩලයට සිදුවූ හානිය රුපියල් ලක්ෂ දෙකක් පමණ වනු ඇති බව ද මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. විදුලි රැහැන් අලුත්වැඩියා කටයුතු නිසා දිවුලපිටිය මීරිගම මාර්ගයේ වාහන ගමනාගමනයට වරින්වර බාධා පැමිණියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හා සමාන අනතුරුවලින් ලංකාවේ ගොඩාක් ජීවිත අහිමිවෙනවා. අඩුම ගානේ බර වාහන වලටවත් පිටුපස ස්ටිකර් එක ඇලවීම අනිවාර්ය කරනවා නම් මේ මාරක අනතුරු නවත්වා ගන්න පුළුවන්.
ටිපර් සඳහා අනිවාර්ය වේග සීමාවක්, කාලසටහනක් පනවන්න. දිනපතා මෙහෙම මිනිසුන් මැරෙන තුරු රජයක් මෙලෙස නිහඬව සිටින්නේ කෙසේද? මොන අපරාදයක්ද? මේවා ප්‍රමාදකර රටේ පාලකයින් කරගන්න පව් කන්දරාව කෙසේ ගෙවා නිමකරන්නද?
බොහෝ වාහනවල පසුපස ලාම්පුවක් නැත. නවීනතම ස්කූටර්වල පවා පසුපස බල්බ් නොදැල්වේ. පදින්නන් එය නොදන්නවා විය හැක. තමන් විශාල අනතුරකට ලක්වන බව මොවුන් නොදනී. ත්‍රීවිල් බොහොමයක පසුපස ලාම්පුනැත. පොලිසියට මේවා නොපෙනෙන්නේ පසුපස බැවිනි.
පොදුවේ මහපාරේ රිය පදවන සියලුම දෙනා හැකි ඉක්මණින් මේ යතුරුපැදිකරු ගිය මගේ යන්න හදනවාදැයි විටෙක මට සිතේ. ඒ තරම් හදිස්සියක් ඔවුන්ට ඇත්තේ...
ලංකාවේ මිනිස්සු මොන ස්ටිකර් ගැහුවත් ගිහින් හප්පා ගන්නවා. දවල්ට පෙනී පෙනී ගිහින් හප්පා ගන්න හැටියට රාත්‍රියට මොන කතාද? රටේ මාර්ග නීති දැඩි නොකිරීම හා රියදුරන්ගේ නොමනා හැසිරීම් නිසා මේ සියල්ල සිදුවන්නේ රටේ නීති දේශපාලනයට යට වෙලානේ... මේ සියල්ල නුගත් පාලකයන් රට පාලනය කිරීම නිසයි.