(සුජිත් හේවාජුලිගේ)

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින   අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම ලිහිල් කරගැනීමට අද (10) සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත්  කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නියෝජිතයන් ඒ බව දැනුම් දුන්නේ යැයි  සිවරාසාගේ පවුලේ  ඥාතීහු පවසති

මේ අතර, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති  ඕ එල් අමීර් අජ්වාඩ් මහතා  දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසාගේ සුවදුක් විමසා බැලීමට පෙරේදා එහි ගියේය.

මෙහිදී තානාපතිවරයා, අනෝජන් සිවරාසා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.  ඔහුගේ අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව එහිදී අවධානය යොමු කෙරුණු බවඑරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඔහුට අවශ්‍ය සියලුම කොන්සල් සහ නීතිමය සහායන් ලබාදීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බැඳී සිටින බව එහිදී තානාපතිවරයා සඳහන් කර ඇති අතර, ඍජුව තොරතුරු හුවමාරු කරගැනීම සඳහා සිය පෞද්ගලික දුරකථන අංකය ඇතුළු විස්තර ද සිවරාසා  වෙත ලබාදී ඇත.