(අංජුල මහික වීරරත්න)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

"අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සහ ව්‍යුහමය වෙනස්කම් රැසක් සිදු කිරීම සඳහා වූ තීරණාත්මක ප්‍රතිපත්ති සහ යෝජනා ගණනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. විශේෂයෙන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් සකස් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාවට, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මගින් ඉදිරිපත් කළ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව (National Curriculum Framework) සහ 1 සිට 11 ශ්‍රේණි දක්වා වන ශිෂ්‍ය ඇගයීම් රාමුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒවගේම උසස් පෙළ සඳහා වන ඇගයීම් රාමුව මේ දිනවල සකස් වෙමින් පවතිනවා. ජාතික අධ්‍යාපන සභාව (Education Council) පිහිටුවීම සඳහා වන වාර්තාවත් අමාත්‍ය මණ්ඩල අනුමත කළා. ඊට අදාළ කෙටුම්පත් සම්පාදනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කමිටුවක් පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. ඒවගේම අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියෙන් පසුව ජනාධිපතිතුමා වෙත මේ වනවිට යොමු කර තිබෙනවා. ඉදිරියේදී එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය .