කඩුවෙල, කොට්ටාව, කහතුඩුව, ගැලනිගම, දොඩංගොඩ, වැලිපැන්න, කුරුඳුගහහැතැප්ම, බද්දේගම, පින්නදුව, කොක්මාදුව, මාතර, ගොඩගම යන දක්‍ෂිණ අධිවේගී මාර්ග පිවිසුම් පොලිස් මුරපොළ මෙන්ම පෑලියගොඩ, ජාඇල, සීදුව , කටුනායක යන අධිවේගි මාර්ග පිවිසුම් වල 600 කට අධික පොලිස් නිලධාරීහු පිරිසකගේ රාජකාරි නිවාඩු කපා හැර ඇතැයි කියති.

2011 නොවැම්බර් 25 වැනි දින විවෘත  කරන ලද අධිවේගී මාර්ග සේවා කටයුතු වල නිරත වූ පොලිසියට සේවා දින 09 කට එක් නිවාඩු දිනයක් බැගින් මාසයකට නිවාඩු දින 03 ක් ලැබුණ බවත් එම නිවාඩු වෙන් වෙන් වශයෙන් හෝ එකතු කර ලබා ගැනීමේ අවස්ථාව ඉකුත් අගෝස්තු 15 වන දින දක්වාම තමන්ට හිමිව තිබූ බවත් ඉන් පසුව කිසිම චක‍්‍ර ලේඛයක් නැතිව එහි වැඩ බලන අධ්‍යක්‍ෂක පොලිස් අධිකාරී වරයාගේ කට වචනය මත සිය නිවාඩු අහිමි කිරීමට පොලිස් මුරපොළ ස්ථානාධිපතිවරුන්ට සිදුව ඇති බවත් අධිවේගී මාර්ග පොලිස් සාමාජිකයෝ කියති.

අගෝස්තු 14 වැනි දින ගැලනිගම පොලිස් මුරපොළ වෙත අධිවේගී මාර්ග පිවිසුම් වල රාජකාරී කරන සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් පොලිස් පරික්‍ෂකවරුන් උපපොලිස් පරික්‍ෂකවරුන් ඇතුළු පරික්‍ෂක ශ්‍රේණියේ සියලුම නිලධාරීන් කැඳවා දක්‍ෂිණ අධිවේගී මාර්ග වැඩ බලන අධ්‍යක්‍ෂක සහකාර පොලිස්  අධිකාරී ඩබ්.ඞී.ඒ.ධනංජය මහතා දැනුම් දී ඇත්තේ කි‍්‍රයාකාරී පොලිස් සේවාවේ යෙදෙන සියලුදෙනාගේම දින 09 කට වරක් ලැබෙන විවේක දින නිවාඩුව ලබා නොදෙන බවයි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැඩ බලන  අධක්‍ෂක සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඩී.ඒ.ධනංජය මහතා පැවසූවේ අධිවේගී මාර්ග පොලීසියත් පොලිස් මූලස්ථානයේ එක් අංශයක් බවත් ඒ අයට හිමි විය යුතු යැයි කියන නිවාඩු ඔවුන්ට ලැබෙන බවයි. දින 09 කට වරක් එක නිවාඩුවක් බැගින් මාසයකට දින 03 ක නිවාඩුවක් ඔවුන්ට හිමිව නැහැ.

‘ඒවා පොලිස් චක‍්‍ර ලේඛවල සඳහන් වෙනවා. මට චක‍්‍ර ලේඛයේ අංකය මතක නැහැ. ඔය කියන අයට පොලිස් දෙපාර්තමේන්තුවේ නීති රීතී ගැන දැනගන්න කියන්න.‘