(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. 

වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන  අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.  

දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14  දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.