(ඩයනා උදයංගනී)

සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. 

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ වේගවත් සුළං ඇතිවන බව ද ඔහු කීවේය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වාගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.