(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොරෝච්චෝල ලක්විජය බලාගාරය යළි පනගන්වන තෙක් මුළු රටම කලාප හතරකට බෙදා අවස්ථා හතරකදී විදුලිය විසන්ධි කිරීම අද (18) රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජීනේරු විජීත හේරත් මහතා පැවසීය.

ඒ අනුව රට කලාප හතරකට වෙන් කර විදුලිය කැපීම සිදුවන බවත් පළමු කලාපයේ සවස 6.00 සිට 7.00 දක්වාත් දෙවන කලාපය රාත්‍රී 7.00 සිට 8.00 දක්වාත් තෙවන කලාපය රාත්‍රී 8.00 සිට 9.00 දක්වාද සිව්වන කලාපය රාත්‍රී 9.00 සිට 10.00 දක්වා විදුලිය කැපීම සිදුවන බව සභාපතිවරයා සඳහන් කළේය.

ඊයේ (17) දින හදිසියේ සමස්ථ විදුලි පද්ධතියම බිඳ වැටීමත් සමඟ රටේ විදුලි අවශ්‍යතාවයෙන් 45% ක දායකත්වයක් දැක්වූ නොරෝච්චෝල බලාගාරයේ සිසිලන පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි විදුලිය සැපයීමද  නැවති ගොස් ඇති බව සභාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් එසේ නැවතුන නොරෝච්චෝල බලාගාරය යළි පන ගැන්වීමට දින 4 කට අධික කාලයක් ගතවන බවත් යළි නොරෝච්චෝල ලක්විජය බලාගාරය පන ගන්වන තුරු මෙම විදුලි කප්පාදුව සිදුවන බවත් සභාපතිවරයා පැවසීය.