(ජේ.ඉඳුරුවගේ) 

හම්බන්තොට හා යාපනය ප්‍රදේශවලින් මසුන් මැරීම සඳහා මුහුදට ගොස් ඇති  ධීවර යාත්‍රා දෙකක   ධීවරයින් හය දෙනෙකු පිළිබඳව දින ගණනාවක් තිස්සේ  කිසිදු  තොරතුරක් හෝ පණිවුඩ හුවමාරුවක්  නොමැති බව  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.
 
හම්බන්තොට නැංගුරම් පොළකින් හා යාපනය පේදුරුතුඩුව තොටුපොළකින් ඉකුත් 07 දා හෝ ආසන්න දිනකදී කුඩා යාත්‍රා මගින්  මොවුන් මුහුදු ගොස් ඇතැයි  එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.

හම්බන්තොටින් මුහුදු ගිය එක් දින යාත්‍රාවේ ධීවරයින් දෙදෙනා ද යාපනයෙන් මුහුදු ගිය යාත්‍රාවේ  සිවුදෙනා ද  මෙසේ ආගිය අතක් නොමැතිව සිටින බව කහවත්ත මහතා පැවසීය.

නාවික හමුදාව මෙන්ම  මුහුදේ ඇති ධීවර යාත්‍රාවල ධීවරයන්  දැනුවත් කරමින්   මොවුන් සොයා ගැනීම සඳහා මේ වන විට  නිරන්තර  සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි මේ පිළිබඳව කළ විමසීමකදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අද සවස  පැවසීය.