
(අංජුල මහික වීරරත්න)
නිවසේ සිට රාජකාරී කිරීමේ හැකියාව පිළිබඳ තවදුරටත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යංශ ලේකම්වරුන්ට අද (15)උපදෙස් ලබා දුන්නේය.
මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය.
මෙහිදී විශේෂයෙන් සෞඛ්‍ය, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර ආදී ක්ෂේත්රයන් පිළිබඳව අවධානය යොමු වූ අතර එක් එක් ක්ෂේත්රය තුළ යාවත්කාලීන ඉන්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මෙහිදී එක් එක් අමාත්‍යංශ ලේකම්වරුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කිරීම මෙහිදී සිදු විය.
මතු වූ කරුණු පිළිබඳව සලකා බැලූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සෞඛ්‍යය වැනි ක්ෂේත්රයන් වෙනුවන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රදේශීය පවත්වාගෙන යාමේ හැකියාව තවදුරටත් සොයා බලන ලෙසයි.
ඉදිරියේදී මතු විය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව උපකල්පන ඉදිරිපත් කළ නොහැකි බැවින් ඉදිරියේදී මතු විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා පෙර සූදානමක අවශ්‍යතාවයත්, ඒ වෙනුවෙන් තවදුරටත් දැනට හදුන්වා දී ඇති ඩිජිටල් කේත ක්‍රමය විධිමත් කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී දැනට හදුන්වා දී ඇති ඩිජිටල් කේත ක්රමයේ පවතින අඩුපාඩු හැකි ඉක්මනින් නිවැරදිව සකස් කර යාවත්කාලීන කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය. එසේම මතු වන නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සහ අවධානයෙන් සිටිය යුතු බවත්, එක් එක් අංශයන් වෙනුවෙන් වෙන් වෙන්ව තීන්දු තීරණ ගැනීම වෙනුවට සමස්තයක් ලෙස සලකා බලා පවතින අභියෝගයට අදාළ විකල්ප ක්‍රමවේදයන් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව යුහුසුළුව මැදිහත් වන ලෙසද උපදෙස් ලබා දුන්නේය.
මේ අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, ජනාධිපති ඩිජිටල් ආර්ථික උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ධනපාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශ ලේකම් කෝලිත කමල් යන මහත්ම මහත්මීහු සහ ආයතන ප්‍රධානීහු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd