(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ පවතින මාර්ග නිසි ප්‍රමිතියකින් යුතුව සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභා හා පළාත් සභා ඇතුළු පළාත් පාලන ආයතන සමගද එකගතාවයකින් යුතුව ජාතික වශයෙන් ක්‍රියාත්මක වන නිසි ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.  

මෙම කාර්යය සඳහා පර්යේෂණ හා සංවර්ධන අංශය මඟින් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන වල ඒකාබද්ධ එකඟතාවකින් යුතු වැඩපිළිවෙළක් සකස් කළයුතු බව ද කී අමාත්‍යවරයා පර්යේෂණ හා සංවර්ධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් පෞද්ගලික අංශයේ වෘත්තිකයින්ටද අවශ්‍ය පුහුණුව සමඟ ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම් දියහැකි ආකාරයේ පහසුකම් ආයතනය තුළ ස්ථාපිත කිරීම තුළින් ආයතනය පිළිබඳව ජාතික මට්ටමේ පිළිගැනීමක් හා නව ආදායම් උත්පාදන මාර්ගයක් ද බිහි කළ හැකි බව ද සඳහන් කළේය.

මෙරට මාර්ග ඉදිකිරීම සහ අලුත් වැඩියාව සඳහා භාවිතා කෙරෙන ගල් කුඩු, තාර, කාපට් ආදිය යොදා ගනිමින් සිදුකෙරෙන ක්‍රමවේදයට විකල්පයක් ලෙස කලු ගල් හා ඒබීසී භාවිතයෙන් තොරව පිහිටි පොළොව ශක්තිමත් කරමින් මාර්ග ඉදිකිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳව සිදුකෙරෙන පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් කරන ලෙස උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා කීය.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රත්මලාන පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පර්යේෂණ හා සංවර්ධන අංශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව එසේ පැවසීය.