(ප්‍රියන්ත දසනායක)

මාතර බංගම පොලිස් වසමේ සිව්දරු මවක් මානසික ආබාධිත 28 හැවිරිදි සිය වැඩිමහල් පුතු විසින් පරාළයකින් ගසා අද (30) ඝාතනය කර ඇතැයි බංගම පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ අකුරැස්ස, මලිදුව, පාවුලවත්ත ලිපිනයේ පදිංචිව සිටි ගාල්දිය ළමාහේවාගේ චන්ද්‍රලතා නැමැත්තියකි.

කාලයක් මානසික ආබාධිතව සිට පසුව ඉකුත් වසරේ සුව වී නිවසට පැමිණ විවිධ කුලී රැකියාවලින් ජීවිතය ගැටගසා ගත්තෙකු බවත් ඊයේ සුපුරුදු රැකියාවකට ගොස් පසුව නිවසට පැමිණ රාත්‍රී සිය බාල සොහොයුරාගේ නිවසට ආලාභහානි කොට පසුව අද අළුයම සිට නිවසේ කළබල කරන්නට වීමෙන් ගම්වාසීන් ඊට මැදිහත්ව ඇති බවත් පොලීසිය කීය.

ඊට මැදිහත් වූ අසල්වාසීයකුට අත කැඩෙන්නට මුගුරකින් පහර දී ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

පසුව නිවසේ කාමරයක බිම මෙට්ටය මත හාන්සි වී සිටි මවට විශාල පරාළයකින් පහර දී ඝාතනය කොට තිබියදී පොලීසිය මැදිහත්ව හිසට සිදුව තිබූ බරපතළ තුවාල මත 1990 ගිලන් රථයෙන් අකුරැස්ස ප්‍රාදේශීය රෝහලට යොමු කිරීමට කටයුතු කළ බවත් පොලිසිය කීය.

සැකකරු නිවස අසල පාළු වැසිකිලියක සැගවී සිටියදී අත්අඩංගුවට ගැනීමට බංගම පොලීසිය සමත් වූහ.

අකුරැස්ස රෝහලේ තැන්පත් කරඇති දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ඥාතීන්ට භාර දීමට කටයුතු කරමින් තිබුණි.

සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (31)දා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මාතර සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහතාගේ උපදෙස් මත බංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෞෂල්‍ය නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්ෂක ආර්. එච් අනුර මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන සිදුකරති.