(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේදී අැතැම්  මන්ත්‍රීවරුන් අගවිනිසුරැවරයා  සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ  චෝදනා ගැන   කිසියම් මූලික පරීක්ෂණයක් හෝ  විමසීමක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක්  හෝ ගෙන තිබේදැයි  සමගි ජන බලවේගයේ  කුරුණෑගල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතාට ලිපියක් යවමින්  විමසීමක්  කරයි.

එසේම පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති මෙම චෝදනා  සත්‍යද අසත්‍යද යන්න තහවුරු කර ගැනීම සඳහා අදාළ නීතිමය බලය ඇති ස්වාධීන ආයතන වෙත යොමු කර තිබේදැයි   මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන්   ප්‍රශ්න කර සිටී.

තවද එක්ස්ප්‍රස් පර්ල්  නඩුව හා ශ්‍රී ලංකා රජයට හිමි විය යුතු වන්දි මුදල් අය  කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මතු කර ඇති කරුණු පිළිබඳව රජයේ අදාළ ආයතනවලින් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් හෝ   කිසියම් නිල පැහැදිලි කිරීමක් ලබාගෙන තිබේදැයි ඔහු කතානායකවරයාගෙන් ප්‍රශ්න  කර අැත.

චෝදනා සත්‍ය නොවන බව තහවුරු වුවහොත් අගවිනිසුරුවරයාගේ  සහ ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මට්ටමින් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  අවධානය යොමුවී තිබේදැයි ප්‍රශ්න කරන  ජයසේකර මහතා එම චෝදනා සත්‍ය බවට විශ්වාස කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් නීතිය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදාළ බලධාරීන් වෙත කරුණු යොමු කිරීමට අදහස් කරන්නේ  දැයි  විමසීමක් කරයි.

තමාගේ මෙම ඉල්ලීම කිසිසේත්ම අගවිනිසුරුතුමාට හෝ ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියට අගෞරව කිරීමේ අරමුණින්  කරන්නක්  නොවන බව කියන දයාසිරි ජයසේකර මහතා   චෝදනා සත්‍ය නම් සත්‍ය  අනාවරණය කර නීතිය ක්‍රියාත්මක කිරීමත් චෝදනා අසත්‍ය නම්  ඒ බව පැහැදිලි කර අධිකරණයේ ගෞරවය හා මහජන විශ්වාසය ආරක්ෂා කිරීම   අරමුණු කරගත් එකක් බව  සඳහන්  කරයි