(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිහිටි "අග්‍රා" ගොඩනැගිල්ලෙහි අකුණු සන්නායකය අවසරයකින් තොරව  කිහිප දෙනකු පරීක්ෂා කරන අයුරු දිසාලේකම් කාර්යාලයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවක සටහන් වී ඇතැයි  ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.

වසර සීයකට වඩා පැරණි මෙම ගොඩනැගිල්ලේ ආරක්ෂාවට  සවිකර ඇති අකුණු සන්නායකය භූගතකොට ඇති ස්ථානයට පැමිණ ඇති දෙදෙනකු විසින් එම සන්නායකය සවිකර ඇති භූමිය කිසියම් උපකරණයකින් පරීක්ෂාවට ලක් කරන ආකාරය ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සදහන්ව ඇති බව  පොලිසියට කළ  පැමිණිල්ලෙහි සදහන් වේ.

මෙම පිරිස පැමිණි වාහනය පිළිබඳ තොරතුරු ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන්  පොලීසියට ලබාදී  ඇත.

පැමිණි පිරිස ගොඩනැගිල්ලෙහි අකුණු සන්නායකයෙහි වටිනාකම සම්බන්ධයෙන් කිසියම් පරීක්ෂාවකට ලක් කළේද යන්න පොලීසිය සැක කරන අතර මේ වන විට සන්නායකය භූගතකොට ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව සැලසීමට පියවර ගෙන තිබේ.

මෙම සන්නායකය භූගතකොට ඇති ස්ථානයට , මීට කලකට පෙර ආරක්ෂක කැමරාවක් සවිකිරීමට පි හිටපු දිසාපති සුනිල් ජයලත් මහතා පියවර ගත්තේය.