(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

සුනක්‌ යුවලගේ වත්කම 2024 වසරේදී ස්ටර්ලිං පවුම් මිලියන 529 සිට 651 දක්වා වැඩිවී ඇති බවද එරට ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.

බ්‍රිතාන්‍යයේ සිටින ධනවත්ම පුද්ගලයන් 1000 බ්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගියදා ප්‍රකාශයට පත කළ අතර එහිදී සුනාක් යුවළට 245 වැනි ස්ථානය හිමිවී තිබූ අතර ඔවුන්ගේ වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 651 ක් ලෙස සඳහන් විය. තෙවැනි චාල්ස් රජුට එම ලැයිස්තුවේ 258 වැනි ස්ථානය හිමිවී තිබූ ඔහුගේ වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 610 ලෙස සටහන් වූවේය.

සුනාක් පවුල පසුගිය වසරේදී සිය වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 122 කින් වැඩි කර ගනිද්දී තෙවැනි චාල්ස් රජුට වත්කම වැඩිකර ගැනීමට හැකිවී ඇත්තේ ස්ටර්ලිං පවුම් මිලියන 10 කින් පමණක් බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

මෙලෙස විශාල ප්‍රමාණයකින් සුනාක් පවුලට සිය වත්කම් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අක්ෂාටා මුර්තිගේ පියාගේ ව්‍යාපාර හේතුවෙන් බව එම පුවත්පත පෙන්වා දුන්නේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණි ධනවත්ම යුවළ වන්නේද සුනාක් යුවළ බව බ්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.අග්‍රාමාත්‍ය සුනාක්ගේ තනි වත්කම අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජිනගේ වතක්මට වඩා වැඩි බව එම පුවත්පත සඳහන් කළේය.