අක්කරේපත්තුවේ දී බස් රියැදුරකුගෙන් රුපියල් දෙසිය පනහක අල්ලසක් ගත් බව කියන පෞද්ගලික බස් මෙහෙයුම් කළමනාකරුවකු  අක්කරපත්තු මහේස්ත්‍රාත් විසින් වැරැදි ලෙසත් නීති විරෝධී ලෙසත් ඇප පිට මුදා හළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට අද පැමිණිලි කෙළේය. මෙවැනි නඩු වලදී ඇප දීමේ බලය ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ට හා මහාධිකරණයට බව කොමිසම කියා සිටියේය. සැකකරු අක්කරපත්තු මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙළේ ඔහු රිමාන්ඩ් කර බන්ධනාගාරය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටිමින් බව ද එහෙත් මහේස්ත්‍රාත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහුට ඇප දුන් බව ද කොමිසම සඳහන් කෙළේය.  කේ.ඒ. ජබිර් නම් මෙම සැකකරුගේ ඇප අවලංගු කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ඔහු ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කෙළේය