(මනුල වික්‍රම)
වසර 25ක් තිස්සේ වසා දමා ඇති අනුරාධපුර නුවරවැව බැම්ම මතින් පිහිටා ඇති මාර්ගයේ මහජනතාවට ගමන් කිරිම සඳහා අවස්ථාව සලසාදෙන ලෙස අනුරාධපුර නගරයේ ව්‍යාපාරික සංගම් රජයෙන් ඉල්ලා සිටී.
ත්‍රස්ත තර්ජන පැවැති සමයේ අනුරාධපුර නුවරවැව හා තිසාවැව වැව් බැමි මත මාර්ගයේ වාහන ගමන් කිරීම අවහිර කර පිවිසුම් ස්ථානවල යකඩ ගේට්ටු හරස්කර වසා දැමීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගැණිනි.
එහෙත් යුද්ධය නිමාවීමෙන් පසු ද කිසිදු සාධාරණ හේතුවකින් තොරව රාජ්‍ය ආයතන මගින් නුවර වැවට හා තිසා වැවට පිවිසෙන මාර්ග හරස්කර යකඩ ගේට්ටු ඉදිකර අගුළුලා තිබේ.
මේ හේතුවෙන් නගරයේ ඇති සුවදායක හා සුන්දරම මෙම ස්ථාන දෙකෙහි බැමි මත සිට පරිසරය අත්විදීමට ජනතාවට එතෙක් තිබූ අවස්ථාව අහිමි විය. ඒ අවට ප්‍රදේශ ජනතාවට ගිමන් හැරීමට ඉතාම නිස්කලංක ස්ථානයක් බවත් අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ නිලධාරිහු පෙන්වා දෙති.
අනුරාධපුර නගරයේ හා මිහින්තලා කඳුවැටියේ අතිසුන්දරම ස්ථාන දර්ශනය වන නුවර වැව සංචාරකයින් ආකර්ශනය කරගන්නා කුරුලු පාරාදීසයක් ඇතුළු ජෛව විවිධත්ව කලාප රැසකින් මෙන්ම වන්දනාකරුවන්ටත් ප්‍රදේශවාසීන්ටත් ගිමන් නිවිය හැකි තුරු හිස් වලින් සමන්විතය.
නුවර වැව බැම්ම මතින් සැහැල්ලු වාහන ගමන් කිරීමෙන් අනුරාධපුර යාපනය හන්දිය හරහා පැමිණෙන ගමන් මාර්ගයේ වාහන තදබදයට විසඳුමක් ද සැලසෙන බව ප්‍රදේශවාසීහු පවසති.
දීර්ඝ කාලයක් තිස්සේ සංචාරක හෝටල් හිමියන්, ව්‍යාපාරිකයින් හා නගරවාසීන් කළ ඉල්ලීමක් පරිදි මෙය වහා කළ යුත්තක් බව වාණිජ මණ්ඩල නිලධාරින් පසුගියදා උතුරුමැද පළාත් ආණ්ඩුකාර සමඟ පැවැති සාකච්ඡාවක දී පෙන්වා දී තිබේ.
එම ඉල්ලීම සළකා බැලූ ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ ඒ ගැන අධ්‍යයනයක් කිරීමට නිලධාරීන්ට කළ දැනුම්දීමක් පරිදි මෙම පිරිස ස්ථානීය පරීක්ෂාවක් සිදුකළහ.
එම අවස්ථාවේ දැකගත හැකි වූ විශේෂ ලක්ෂණයක් වූයේ මෙම නුවර වැව බැම්ම ජනතාව නොගැවසෙන ස්ථානයක් නිසා විවිධ අපචාර ක්‍රියාවන් එම පරිසරයේ සිදුවන අයුරු හා පරිසර දූෂණයක් සිදුවෙමින් පවතින බව යි.
ඒ අනුව ඉතා කඩිනමින් සියලු රාජ්‍ය නිලධාරීන් එක්ව ගේට්ටු විවෘත කිරීම, බැම්ම මත මාර්ගය සංවර්ධනය කිරිම , පරිසර අලංකරණ කටයුතු හා නැරඹුම් මධ්‍යස්ථාන ඉදිකිරීම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව අනුරාධපුර වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පි.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේය.
අනුරාධපුර වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති අමල් පියතිලක ,අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂ ගුණසේකර මහතුන් ඇතුළු ව්‍යාපාරික සංගම් නියෝජිතයෝ ද අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එම අවස්ථාවට එක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොද වැඩ, විශේෂයෙන් වැව් බන්ටෙක මැද හරිය වංගුවේ ශක්තිමත් මදි වගේ වාහන ගමන් කරන්න දෙපැත්තට වැටක් හැදුවොත් හොදයි නැත්නම් වාහන දෙක තුනක් වැවේ හිටියි.
ඔය ඉල්ලීම් කරන සමහර සංචාරක හෝටල් හදලා තියෙන්නේ වැවේ රක්ෂිතයේ. ඒ ගොල්ලන්ට ඕනේ වාහනත් ඇතුලට දා ගන්න. ඒක නිසා ඔය වැඩේ කරන්න ඕනේ බොහොම පරිස්සමෙන්. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සහ ජල සම්පාදනෙන් අහලා කරන දෙයක් කරන්න. වාරිමාර්ගේ ඉන්ජිනේරුවරුන්ට රක්ෂිතයේ හදන හෝටල් නවත්තන්න බැරුව ඉන්නේ දේශපාලන බලපෑම් නිසා. ජල සම්පාදනේ නගරයට අවශ්‍ය බොන ජලය ගන්නේ නුවර වැවෙන්. ඒවා ගැනත් හිතන්න ඕනේ. වාහන දාන්න දුන්න ගමන් දුර පළාත් වලින් එන අය වැවට දාලා වාහනේ හෝදනවා.
තව ටිකක් කල්පනා කරලා බලලා වැඩේ පටන්ගන්න. හැබයි අර පළවෙලා තියෙන අන්තිම පින්තුරේ වගේ වැව් බැම්ම පුරාවටම උනොත්? ඒ ගැනත් ටිකක් කල්පනා කරන්නකෝ. මේ රටේ තිබුණු විනය නැති කාලේ දේශපාලුවෝ. ඒ අයගේ උවමනාව කොහේ හරි ගෑවිලා ඇත්නම් කිසි දවසක ඔය පාර අරින්න එපා. වැව විනාශ උනත් දේශපාලුවන්ට කම් නැත. ඒ අයගේ බඩගොස්තරේ විතරයි බලන්නේ.
පාර නිදහස් කරන්න එපා. ඉහත ප්‍රකාශ හරි. වැව් බැම්ම කුණුගොඩක් වෙනවා. මම හැමදාම වැව් බැම්මේ ඇවිදින නිසා දන්නවා. ආණ්ඩුකාරතුමනි, නැවත සිතා බලන්න.