(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර මහ නගර සීමාව තුළ සිටින සියලුම අනවසර පදික වෙළදුන් දෙසැම්බර් මස 31 වැනි දිනයෙන් පසු ඉවත් කිරීමට පියවර ගන්නා බව නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා කියයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඉකුත් ජුනි මාසයේදී සභා සම්මත කරන ලද තීරණයකට අනුව පදික වෙළඳුන් ඉවත් කිරීමට පියවර ගත් අවස්ථාවේදී එම පදික වෙළඳුන්ගේ ඉල්ලීම මත දෙසැම්බර් මස 31 වැනි දින දක්වා එම වෙළෙඳුන්ට සානුකම්පිත හේතුන් මත ඔවුන්ට කල් දී තිබූ බවයි.

නගරයේ පදික වෙළඳාමේ යෙදෙන බොහෝ වෙළඳුන්ට ඉන් ඉවත්වීම සඳහා විකල්ප ස්ථාන ලබා දුන්නද එය තිබියදීම ඔවුන් නැවතත් පදික වෙළඳාමට යොමු වන බවටද නගරාධිපතිවරයා චෝදනා කළේය.

මෙම තීරණය කිසිදු හේතුවක් මත ආපස්සට නොගන්නා බව සඳහන් කළ නගරාධිපතිවරයා නගර සභාව, පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා ජාතික ජනබල වේගයට හිමි බැවින් ගන්නා කිසිදු තීරණයක් ආපස්සට ගැනීමට අවශ්‍ය නොවන බවද පැවසීය.