(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පුලුස්සා දමන ලද බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකු පිළිබඳව අද (22) සිට කිසිඳු තොරතුරක් නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාල පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනා ඇතුළුව එම ඒකකයේ 15 දෙනෙකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් දකුණු පළාතෙන් පිටත පොලිස් ස්ථාන වෙත වහා ක්‍රියාත්මකවන පරිදි මාරු කර යවා තිබෙන අතර ඊට අදාල පණිවුඩය ලබා දීමට ඔවුන් සොයන අවස්ථාවේදී ඒ ගැන හෙළිවී ඇත.
ඒ අනුව අද (22) සිට ඔවුන් නොදන්වා රාජකාරි ස්ථානයෙන් බැහැරව ගොස් ඇති බවට පොලිස් පණිවුඩ මගින් දැනුම් දී තිබේ.
යම් හෙයකින් ඔවුන් සේවයට වාර්තා නොකලහොත් සේවය හැර ගියාසේ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මාතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි මස 23 වැනි දින පැහැර ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසුණු 13 දෙනෙකු නිල නොවන ආකාරයට සහභාගී වී තිබෙන බව රහස් පොලිස් පරික්ෂණ වලදී අනාවරණයවී ඇත.
ඔවුන්ගෙන් පොලිස් පරීක්ෂකවරයකු දැනටමත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින අතර තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු රැඳවුම් නියෝග යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බාරයේ තබා ගෙන ප්‍රශ්නකර ගෙන යයි.

COMMENTS
මොවුන් දෙදෙනා කල ව්‍යාපාරය ගිනිඅවි කුලියට දීම කියන්නේ ඇත්තක්ද?
සල්ලි වලට පොලිසියේ අය ඕන දෙයක් කරයි.
අනිවාර්යයෙන්ම ඔය 5 දෙනා ලොකු නිලධාරීන්ගේ උදවුවෙන් රට පනින්න ඇති..., ඔය මෙහෙයුම ගැන උසස් නිලධාරියා දන්නවා. එහෙම නැතුව නිලධාරියෝ 13 දෙනෙකු මාතර ඉඳන් බූස්සට යන්නේ නැහැ. මිනිස්සු 2ක් අත්අඩංගුවට ගන්න. ඔය දෙන්නා අල්ලාගෙන එන්න ඇත්තේ මරන්න නොවේ වෙන්න ඇති. නමුත් ගහනකොට එක්කෙනෙක් මැරුණාම අනිත් මිනිහත් මරලා දමලා ප්‍රශ්නේ යට ගහන්න හදන්න ඇති... කවුද දන්නේ ඔය පෙන්වන තැන පොලිසිය විසින්ම සකස් කරපු අපරාධ ස්ථානයක්ද කියලා? සමහරවිට ඔය හම්බවුණා කියන පිළිස්සුන දත් සහ අැටකැබලි වෙනත් කෙනෙකුගේ වෙන්න බැරිද? අන්තිමට එම නිසා නඩුව කැඩෙන්න පුළුවන්... මට නම් මේ පොලිසිය ගැන කිසිම විශ්වාසයක් නැහැ.. සමහරවිට සාක්ෂිවලට ඉන්නේ ඔය 5 දෙනා පමණක් වෙන්න ඇති.. කවුරුවත් සාක්ෂි නොදුන්නොත් අල්ලාගෙන ඉන්න දෙන්න... බේරිලායාමට ඉඩ ප්‍රස්ථාව වැඩියි.
පොලිසිය ඇත්තටම බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මෙහි ස්ථාපිත කරන ලද්දේ සිවිල් සමාජයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටයි. කුණු ගඳ ගහන දේශපාලනයේ ඕජස් පොලිසිය මතින්ද ගලා යෑම ඇරඹි දශක කිහිපයක් ඉක්ම ගියද අද වෙනතුරු එයට මානුෂික මුහුණුවරක් දෙන්න ජගතෙක් බිහිවී නැහැ. ත්‍රස්තවාදයට එරෙහිව පැවති යුද ජයග්‍රහණය බලයේ සිටි අයගේ වාසිය සඳහා දේශපාලනීකරණය කිරීමත් ඒ හා සබැඳුණ දූෂණ ගණනාවක් සීමාන්තිකව ජනජීවිතය පුරා උඩුදුවනු ලැබීම නිසාත් අද පොලිසිය හා පාතාලය අතර වෙනසක් ඇතිදෝයි යන සැකය ජනතාව පෙළමින් සිටියි.
කාගේ හයියද ලැබුනේ මිනීමරන්න?
කව්රු හරි කියලද කියන්ට අමාරුයි. මොකද, ඔය කියන පැත්තේ කට්ටිටිය සාමාන්‍යයෙන් ඉන්නේ පිහියක් අතේ ඇතුව ලෑස්ති පිටයි.
දැන් ප්‍රශ්න කරලා ටික කලක් ගියපසු මේ කතාව අමතක කරනවද? තාජුදීන්ගේ මරණය වගේ හොඳටම දන්නවා. එයට සම්බන්ධ මිනීමරුවන් තවමත් නිදැල්ලේ.... කිරිල්ලි, මේ වගේම. පොලිස් කාරයෙක් බොරුවට කුඩුවේ දමල නිදහස් කෙරුවා... එදා ඔහුට... මරණිය දණ්ඩනය දුන්නා නම් අද මෙවැනි දෙයක් සිදු නොවෙන්න තිබුණා. එකම රටේ නීති දෙකක්. ප්‍රබලාට එක විදියක්, සාමාන්‍ය වැසියට එක විදියක්... මේ මිනීමරුවන් දන්නවා. නීතියෙන් ගැලවෙන්න පුළුවන්... කියලා අසරණ මිනිස්සු මැරුවම, නීතිපොතේ හැටියට වැඩ කරන්නේ නැති අයට හෙන වදින්න ඕනෑ.. මේ වගේ කාලකන්නි යටතේ ජිවත් වෙන්න කොයිතරම් පව් කාරයින්ද අපි?
පොලිසියේ හා හමුදා නිලඇඳුම් ඇඳගෙන රටේ බලුකම් කරන පාහරයින්ව මේ රටින් තුරන් කලයුතු කාලය ඇවිත් ඇත. පොලිසිය සහා හමුදාවළ වැදගත් නිලධාරින්ට කරන නින්දාවක්....
මේ වගේ ලයිසන් චණ්ඩි ඉන්නකොට රටකට යන කල මොකක්ද?
ඉස්සර පුහුල් හොරා කරෙන් දැනේ. දැන් මිනීමරුවා ස්ථාන මාරුවෙන් දැනේ. වැටුප් යවන්නේ බැංකු ගිණුම් වලට නම් වහාම නවතා දමන්න.
ඒ මිනිස්සු භාවනා කරන්න යන්න ඇති. භාවනා නොකර හිටියොත් ලොකු මහත්තය ගහනවනේ!
මේක උතුරේ වුණා නම් මානව හිමිකම් NGO හා දේශපාලකයන් බරගානක් මහපාරේ වැඩ...
අද රටේ නීතියක් නැත. මහජන ඡන්දයෙන් පත්වෙන රටේ නායකයොයි, මහජන නියෝජිතයොයි එළිපිටම හොරා කනවා. නීතිය - අවනීතිය රජ කරනවා. නැත්නම් හොරකන අයට අවශ්‍ය නිදහස දෙනවා. ඒත් 2018 අයවැය පරතරය රුපියල් බිලියන 644 (මිලියන 644000). ඔය 5 දෙනා දැනටමත් ඩුබායි හරි කොහේ හරි ඇති. ප්‍රබල සාක්ෂි ටික යට ගහන්න. හැබැයි "සත්‍යය කවද හරි එළිවෙනවා" මොන සාක්ෂි යට ගැහුවත් " තමන්ගේ හෘද සාක්ෂිය" කවදාවත් යට ගහන්න බැහැ. රටේ යුද්ධයට සහ සංවර්ධනයට මුවා වෙලා ඔය බිලියන 644 හොරා කෑවේ... රටේ සාමාන්‍ය මහජනතාව නොවෙයි. ඒත් ඔය "ජඩ" පාලකයන්ව පත්කරන "මෝඩ සාමාන්‍ය ජනතාව" ඉදිරියට බලයට පත් කරගන්නෙත් හොර නඩයමද? පොලිසිය විතරක් මේ ප්‍රශ්නයට වගකිවයුතුද? දැන්වත් තීරණය කල යුතුව ඇත.
පහුගිය මාස තුන හතරකට කලින් ඇතිවූ නොයෙකුත් විපරියාස හේතුවෙන්, මටත් වෙනත් අයටත් නොතේරෙන නිසා මං අහන්නේ දැන් පොලිසිය තියෙන්නේ කාගේ යටතේ ද කියලයි. වෙනත් හොඳයි, දියුණුයි කියන රටවල අදාළ ඇමැතිවරයා ගන්නා ක්‍රියාමාර්ග මේ රටේ නැහැ නේද ?
සමාජයට විනයක් තියෙන්න එහි නායකයින්ට විනයක් හැදියාවක් තියෙන්න ඕනේ. එහෙම නැත කියලා අපි දිනපතා දේශපාලන පුවත් වලින් දකිනවා. ඉතින් එහෙම අය පත්කරන පොලිසියකට හැදියාවක් තියෙයිද?