(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානිදායක වන අයුරින් අපකීර්තිමත් ප්‍රකාශයක් කරමින්, එය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමට කටයුතු කළ බව කියන අලුත්ගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව කළුතර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා මහතා පැවසීය. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ සාමාන්‍ය රාජකාරිවල නිරතව සිටි නිලධාරියෙකි.
උප පොලිස් පරීක්ෂකවරයා සිදු කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.
''උප පොලිස් පරීක්ෂකවරයෙක් විදියට පොලිස් සේවයට බැඳුණා. 6 වෙනි දින මම ඇකියුස් කෙනෙක් ගත්තා අලුත්ගම ටවුමෙදි. පැය 24ක් යන්න කලින් ඇප. කවුරුහරි ඇමති කෙනෙක් කතා කලොත් පැය 24ක් යන්න කලින් ඇප. ඒ දවසේ ඉඳලා රාජකාරි සඳහා එන බලපෑම මට දිගින් දිගටම වැඩියි. ස්ථානාධිපතිවරයාගෙන් එන බලපෑම නිසා මට මේ තත්ත්වය පාලනය කරගන්න බැහැ. ඒ නිසා මම ශ්‍රී ලංකා පොලිස් සේවයෙන් අයින් වෙන්න තීරණය කළා. අතිගරු ජනාධිපතිතුමාට මගේ මේ ගැටලුව යොමු කරනවා'' යැයි එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් 1 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා මහතා මෙසේද පැවසීය.
''එම නිලධාරියාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මුසාවක්. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමේදී ස්ථානාධිපතිවරයා ඔහුට පැවරී තිබෙන බලතල අනුව ක්‍රියා කර ඇති බව පැහැදිලි වෙනවා''යැයි කීය.
මේ පිළිබඳ අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ විමසීමේ දී මෙසේ පැවසීය.
''ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යක්. ඕනෑම පුද්ගලයෙකුට චෝදනාවක් එල්ල කරනවා නම් ඒකෙ ක්‍රමයක් තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ ගෞරවනීය දෙපාර්තමේන්තුවක්. එම නිලධාරියා නිසි ක්‍රමවේදයෙන් තොරව ප්‍රකාශයක් නිකුත් කරලා තියනවා''යැයි කීය.
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසීමේ දී මෙසේ පැවසීය.
''ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම සහ මුඛ ආවරණ නොමැතිව සිටීම සම්බන්ධයෙනුයි එම නිලධාරියා විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එවැනි පුද්ගලයකුට ඇප දීමට පොලිස් ස්ථානාධිපති වරයෙකුට බලය තිබෙනවා'' යැයි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් කෙරෙනා දේවල් වල හැටියට, දේශපාලකයාගේ වන්දිභට්ටකම් කරනා හැටියට, ඒවා කොට රාජකාරිය බල්ලට දමා තමන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් ඉටුකර ගන්නා හැටියට, රථවාහන පොලිසිය පගාගන්නා හැටියට, පොලිසියට ගෞරවයක් තිබේදැයි මේ බලධාරීන්ගෙන් විමසීමට කැමැත්තෙමු. මේ උප පොලිස් පරීක්ෂකවරයා නිවැරදි කෙනෙකු යයි සිතීමට හැකිය. මේ චූදිතයා බේරීම සම්බන්ධයෙන් එස්.අයි. මහතා විසින් ජනපති වෙත යොමුකොට ඇති කරුණ වන්නේ කිසියම් දේශපාලකයෙකුගෙන් දුරකථනය මගින් ඒ සඳහා අයුතු මැදිහත් වීමක් සිදුවුණු බවයි. ඒ ගැන දුරකථන හඬපට මගින් තොරතුරු සොයා බැලිය යුතුය. මේ නිලධාරියා ගෙනා චූදිතයා අධිකරණයට නොදැම්මේ මන්ද? යන කරුණු වලට ස්ථානාධිපති වරයා සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතුය. මේ ගැන සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය වෙයි.
අර පොලිසියේ උඩට ආපු කාන්තා පොලිස් නෝනාට... ලොක්කෝ කියන කරන හැටියෙන් කියන්න පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ ගෞරවනීය දෙපාර්තමේන්තුවක් කියලා...
ඕක තමයි ලංකාවේ ඇත්ත කතා කරන්න ගියොත් වෙන්නේ....
නාකොටික් එක කුඩු බිස්නස් කළ එකත් ගෞරවනීයයිද?
ගෞරවනීය පොලිස් දෙපාර්තමේන්තුව... මේ රටේ එහෙම එකක් කවදාවත් තිබුණාද ඇත්තටම? දන්නේ නැතිකමට අහන්නේ?