(විනීතා එම් ගමගේ)

දේශපාලඥයින්ගේ නියෝග නොතකා පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් සහකාර වන සංරක්ෂක නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බවත් ඇය ආරක්ෂා කරන බවත් පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මීගමුවේ කඩොලාන පරිසරයක් ක්‍රීඩා පිටියක් සඳහා ලබා ගැනීමට තැත් කරන්නට ඇත්තේ වන ආඥාපනත පිළිබඳව නොදැන විය යුතු යැයි ද එකී පනත ඉතා ශක්තිමත් බැවින් එම පනත යටතේ පාලනය වන එකදු බිම් අඟලක් වත් පාර්ලිමේන්තු අනුමැතිය නැතිව ලබා ගැනීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

වන සංරක්ෂක නිලධාරිනිය කළ දේ හරි බවත් එහි දී සිදුවූ දේ පිළිබඳව කණගාටුව පළ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල්  දරුවන්ට පරිසර නීති කියා දිය යුතුයැයි ද එසේ නොකිරීම නිසා බොහෝදෙනා නීතිය නොදන්නේ යැයි ද පැවසූ අමාත්‍යවරයා සනත් නිශාන්ත මහතා ද නීතිය නොදන්නවා ඇතැයි කියා සිටියේය.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ ඉඩම් අමාත්‍යංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.