(බන්ධුල ඉලේපෙරුම)
ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම ලිඛිතව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙම ලිඛිත ඉල්ලීම කර ඇති අතර මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක මහතා පැවසුවේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අංක 03 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයටද ඇතුළත් කර ඇති බවයි.
එම යෝජනාව සඳහා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියට අමතරව අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි ,රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන ආචාර්ය හරිනි අමර්සූරිය, රෝහිණි කුමාරි විජේරත්න, තලතා අතුකෝරළ, ගීතා සමන්මලී කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ඩයනා ගමගේ යන මහත්මීන්ද අත්සන් තබා තිබේ.
මෙම කාරක සභාව සහ එහි සභාපතිවරයා කථානායකවරයා විසින් පත්කරනු ලැබිය යුතු බවත් යෝජිත කාරක සභාවේ සංයුතිය මන්ත්‍රීවරයන් 25 ගෙන් සමන්විත විය බවටත් යෝජනා කර තිබේ.
සිය පළමු රැස්වීමේ දිනයේ සිට වසරක් ඇතුළත කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, එය සභාගත කර සති 08 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් වන සිය නිරීක්ෂණ සහ ගන්නා ලද පියවර විෂය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතු බවටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් යෝජනා කරයි.
රැකියා, උසස්වීම් අවස්ථා සහ සේවා ස්ථානයේදී සිදුවන හිංසනයන් ඇතුළුව ස්ත්‍රී- පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් පිළිබඳ කාන්තාවන්ගේ දුක්ගැනිවිලි විභාග කර බැලීම, සියලුම අංශවලට සහ සියලුම මට්ටම්වලට ප්‍රමාණවත් අභ්‍යන්තර සම්පත් වෙන් කර දීම සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී- පුරුෂ සමතාව සහ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සඳහා ඇති ප්‍රවේශය සමාලෝචනය කිරීම සහ ඒ වෙනුවෙන් පෙනි සිටීම ඇතුළු යෝජනා දහයක්(10) කාරක සභාවෙන් ඉටුවිය යුතු බවට මන්ත්‍රීවරියෝ යෝජනා කරති.
COMMENTS
අයියෝ මේ නෝනලා... ඔයාලා අඩු ගානේ ලංකාවේ ගෑණුන්ට මාලයක් දාගෙන යන්නවත් බැරිවෙලා තියෙනවා කියලා දන්නවද? කෝච්චියේ මාල හොරුන්ට ඇමැතිකමක් දීලා තියෙද්දී, මිනීමරුවෙක්ට පාර්ලිමේන්තුවේ ඉන්න ඉඩදීලා තියෙද්දී කුඩු බිස්නස් කරන අයට ඇමැතිකම් දීලා තියෙද්දී ඔයාලා මෙතන මගුලක් කියනවා.
වර්තමානයේ විහාර දේවාලගම් පනත යටතේ කාන්තාවන්ට නිලමේලා තෝරන්න ඡන්දෙ දෙන්න බෑ. ස්ත්‍රීන් හා පුරුෂයන් සමාන වෙන්න නම් ඡන්දෙ දෙන්න විතරක් නෙවෙයි ඡන්දෙ ඉල්ලන්නත් අවස්ථාව දියයුතුයි. ඒ අනුව අනාගතයේ බස්නායක මැණිකෙලා දියවඩන මැණිකෙලා බිහිවෙයි. ඒ අතරම සමනලී ෆොන්සේකා මහත්මිය ඇතුලු පිරිසක් දාපු මත්පැන් මිලදීගැනීමේ සම අයිතිය ඉල්ලන නඩුවත් අහලා ඉවර කරන්න ඕනෑ. ආගමික සංවිධානවල නම් කාන්තාවන්ට හිමි පහල තැනමයි. බිෂොප්, කාඩිනල්, මහනායක පදවිවලට කාන්තාවන්ට පත්වන්න බෑ. ඉස්ලාම් ආගමේ විතරක් නෙවෙයි අනිත් ආගම්වලත් කාන්තාවන්ට තියෙන්නේ පහළ තැනක්...
හිංසනයට ලක්වන පිරිමින් ගැන කතාකරන්න කවුරුවත් නැහැ.