(යොහාන් භාසුර)

‘සිරිලිය සවිය’ ආයතනයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට අද (12) පෙරවරුවේ ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසීය.

ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ජාතික රෝහලේ හෘද රෝග විහේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කළ වැලිකඩ බන්ධනාගාරයේ විශේෂඥ වෛද්‍යවරයා කළ නිර්දේශයකට අනුව එම ජාතික රෝහලට ඇතුළත් කළ බව ද පල්ලෙතැන්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ජාතික රෝහලේ 61 වැනි වාට්ටුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොස් පසුගිය 7 වැනිදා නැවත මෙරට පැමිණි ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය පසුගිය 8 වැනිදා අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු අද (13) දක්වා රිමාන්ඩ් භාරයට පත්කළේය.

ඇය ඉන්පසුව පසුගිය 10 වැනිදා ප්‍රතාකර සඳහා ජාතික අක්‍ෂි රෝහලට ඉදිරිපත් කළේය.