(අංජුල මහික වීරරත්න)

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහයක නිරතව සිටි භික්‍ෂූන් වහන්සේ ඇතුළු ගිහි පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා පොලිසිය අද (22)රාත්‍රී අධිකරණ නියෝගයක් රැගෙන පැමිණීමත් සමග එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත කර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලමින් මොවුහු දින හතක් තිස්සේ විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසල සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිටිති.

සිරගත කෙරුණු ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම මුල් කරගනිමින් මෙම භික්ෂූන් වහන්සේ මහනුවර සිට ඉකුත් 10 වෙනිදා කොළඹ දක්වා පා ගමනක් ඇරඹූ අතර අනතුරුව ඉකුත් 15 වැනිදා එම පා ගමන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ලඟා විය.

භික්ෂූන් වහන්සේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටින විට පොලිසිය එම පරිශ්‍රය අවහිර කිරීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගත් අතර අනතුරුව උන්වහන්සේලා කොළඹ ධර්මපාල මාවතේ පිහිටි බුද්ධ ශාසන අමාත්‍යාංශයට පැමිණ එහිදී කළ සාකච්ඡාවෙන්ද විසඳුමක් නොලැබුණු හෙයින් විහාර මහා දේවී උද්‍යානයට පැමිණියහ.

කෙසේ වුවද උන්වහන්සේලා විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේ රැඳී සිටිමින් වස් කවි කියමින් බලි තොවිල් යාග හෝම පවත්වමින් ශාප කරමින් අද රාත්‍රිය වනතුරු එහි රැඳී සිටියහ.