යුද සේවයේ නියුක්තව සිට දේශපාලන ක්ෂේත්‍රයට පිවිසි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුරා මාස 10කට ආසන්න කාලයක් අඩු කරන ලද විධායක බලයක් ඇතිව රට පාලනය කළේ නම්, එම තත්ත්වය තවත් සති කිහිපයකින් වෙනස්වීමට නියමිතය.

තරමක් හැගුම්බර වාතාවරණයක් පැවැති පසුගිය බදාදා කැබිනට් රැස්වීමේදී, 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමිවිය. එහි සම්පාදනයන් සම්බන්ධයෙන් නීති කෙටුම්පත්වරයා ඉදිරිපත් කර තිබූ පැහැදිලි කිරීමක් සියුම්ව අධ්‍යනය කෙරිණ.

අනතුරුව, සැප්තැම්බර් 2 වැනිදා ගැසට් කෙරුණු එය, ඉන් සති දෙකකින් පසුව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. මෙයත් සමග, එහි ඇති කිසියම් සම්පාදනයක් සම්බන්ධයෙන් පුරවැසියකුට හෝ කිසියම් සංවිධානයකට හෝ විරෝධතා පවතී නම් ඒවා සති දෙකක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.

එවන් විරෝධතාවක් ඉදිරිපත් නොවුවහොත් ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ ඉදිරි කාරණාවල නියැළීමට පාර්ලිමේන්තුවට අවස්ථාව හිමිවන අතර, එසේ නොවුනහොත් ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ලබාදෙන තෙක් තවත් සති තුනක කාලයක් බලා සිටීමට පාර්ලිමේන්තුවට සිදුවේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් සම්පාදනයක් මුල්කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාමට විවිධ කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටියේය. මෙය සැළකිල්ලට ගැනීමේ දී 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරෙනු ඇත්තේ බොහෝදුරට මෙම වසරේ ඔක්තෝබර් මාසයේදීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් සම්පාදනයන් සහමුලින්ම ඉවත් කර ඇතැයි කිසිවෙකුට පැහැදිලිවම කියා සිටිය නොහැකිය. එම සම්පාදනයන් බොහෝවිට යෝජිත නව ව්‍යවස්ථාවට ඇතුළත්වීමට ඉඩ තිබෙන අතර එම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සදහා දැනටමත් විශේෂඥ කණ්ඩායමක් නම් කර අවසන්ය. යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයට වැදගත් මං සළකුණක් වේ නම් එය ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්වූ පසු සිදුවනු ඇති වෙනත් වැදගත් වෙනස්කම් රැසක්ද පවතිනු ඇත.

එකක් වන්නේ කැබිනට්ටුවට තවත් අමාත්‍යවරුන් එක් කිරීමට, විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතාට එවන් අවස්ථාවක් ලබාදීමට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට, අවස්ථාව හිමිවීමය.

අවම වශයෙන් තවත් අමාත්‍යධූර හතරක්වත් ඇතිකිරීමට අවධානය යොමුව තිබෙන බව රජයේ ආරංචි මාර්ගයක් සදහන් කළේය. වර්තමානයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම්දී, නොමැති අතර දිව්රුම් දී සිටින්නේ රාජ්‍ය අමාත්‍යවරුන් පමණකි.

කැබිනට් අමාත්‍යවරුන් ලෙස, රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස, අමාත්‍යවරුන් ඕනෑම ගණනක් පත්කිරීමේ බලය 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනපතිවරයා වෙත හිමිවේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ කැබිනට්ටුව අමාත්‍යධූර 30 කටත්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යධූර සංඛ්‍යාව 40කටත් සීමා කැරිණ.

1978 ව්‍යවස්ථාවට 19 වන ව්‍යවස්ථා සංශෝධනය එකතු කිරීමෙන් විධායක ජනපතිවරයා සතු බලතල කප්පාදු කිරීමට කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රමුඛ පැවැති යහපාලන රජයයි. බලයට පත්ව දින 100ක් ඇතුළත විධායක ජනපතිධූරය අහෝසි කරන බවට එදා 2015 ජනපතිවරණයේදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු දුන්නද  පසුව ඔහුගේ රජය පූර්ණ අවධානය යොමුකළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයටය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනපති සිරිසේන දිගටම විධායක ජනපතිවරයෙක් ලෙසම සිය ධූරය හෙබවීය.

19 වන ව්‍යවස්ථාව සම්පාදනය කළෝ තිදෙනෙකි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ ඒබ්‍රහම් සුමන්තිරන් සහ ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයකුව සිට පසුව යහපාලන රජය සමග එක්වූ ජයම්පති වික්‍රමරත්න යන මහත්වරු ඔවුහුය.

1978 ව්‍යවස්ථාව හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ නිර්මානයක් වුවත්, ඔහුගේ ඥාති පුත්‍රයකු වන රනිල් වික්‍රමසිංහ එහි ඇතැම් සම්පාදනයන් හදුනාගත්තේ ජනපතිවරයාට අසීමිත බලයක් ලබාදෙන්නන් ලෙසය. එනිසාම ඔහු 19 වන ව්‍යවස්ථා සංශෝධනය හදුන්වාදීමට පියවර ගත්තේය.

සිය මුල්පෙල සාමාජිකයන්ට මැතිවරණයන්ට ඉදිරිපත්වීමට තිබෙන අවස්ථාව අහිමි කර ඇතැයි 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් සම්පාදනයන් අරබයා රාජපක්ෂ කදවුරේ ඇතැමුන් එල්ල කරන චෝදනාවකි.

“ඒක හරියට අපේ කකුල් ගැටහගලා දුවන්න කියනවා වගේ” ඔවුන්ගෙන් අයෙක් පැවසුවේ ය.


13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉරණම
19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි දෙමළ ජාතික සන්ධානය දැන් සිටින්නේ උභතෝටිකයකය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ එය හදුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස පිහිටැවුනු පළාත් සභාවල අනාගත ඉරණම මුල්කරගෙන ඔව්හු කලබලයට පත්ව සිටිති.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන රාජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම වෙනුවෙන් වර්තමානයේ පෙනී සිටින අතර, එසේ කිරීම යනු පළාත් සභා ක්‍රමයද අක්‍රීය තත්ත්වයට පත්වීමකි.

වියත්මග සංවිධානයේ මුල් පෙල සාමාජිකයකු වන වීරසේකර මහතා පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම තෝරා පත් කෙරූවෙකි. 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් මට්ටමින් පොලිස් බලකායන් පිහිටුවීමට අවසර ලබා නොදිය යුතු බවත් වීරසේකර මහතා කියා ඇත.

ජනපතිවරයාගේ එකීය රටක් - එකම නීතියක් යන සංකල්පය මත සිට ඔහු මෙවැනි අදහස් පළකරන බව විපක්ෂයේ ඇතැම් කොටස්වල අදහසයි. කෙසේවුවත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනපතිවරයා මේ දක්වාම කිසිදු අදහස් දැක්වීමක් සිදුකර නොමැත.

පසුගිය පෙබරවාරි මස යෙදුණු ඉන්දියා සංචාරයක දී, 13 වන ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් ශක්තිමත් කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා පාලකයින් වෙත සහතිකයක් ලබාදුන්නේය. මෙම සංශෝධනය, 1983 ජූලි මාසයේ මෙරට සිදුවූ ජාතිවාදී කෝලහාලයෙන් පසු - යහපත් අරමුණු මුල්කරගෙන ඉන්දියාව කළ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස හදුන්වාදුන්නකි. ඊට අමතරව, 1987 වසරේ ස්වෛරී රාජ්‍යයන් දෙකක් අතර අත්සන් තැබුණු ඉන්දු-ලංකා ගිවිසුමේ ද, පළාත් සභා ගැන සදහන් වේ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ශ්‍රී ලංකාවේ පළාත් සභා අරබයා කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් වාද විවාද සිදුකරමින් සිටින අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් පවසමින් සිටින්නේ ඉන්දියාවේ වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය මෙම කාරණය ගැන වැඩි අවධානයක් යොමු නොකරනු ඇතැයි කියාය. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එම මැදිහත්වීම සිදුකර තිබෙන්නේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිවාදියා එනම් කොංග්‍රස් පක්ෂය වීම යන්න ඔවුන් එම තර්කයට ගෙනහැර දක්වන හේතුවය. එසේ වුවත් කාරණය ඉතා උණුසුම් ලෙසම විවාදයට ලක් වෙමින් පවතින බව සදහන් කළ යුතුය.

කරුණු කාරණා ගැන වඩාත් දැනුම්වත් පිරිස්වල අදහස මෙයට මදක් වෙනස් විය. කාරණය දිහා එසේ බලන්නට හැකියාවක් නැහැ. එය එක් රජයකින් තවත් රජයකට දුන් සහතිකයක්. ඒ නිසාම ඉන්දියාව මේ ගැන නියත වශයෙන්ම සැළකිලිමත් වේවි,

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්ව දින කිහිපයක ඇවෑමෙන් දෙමළ ජාතික සන්ධානයේ දූත පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස්වරයා අතර හමුවක් පැවැති බවද මෙතැන සිහි කැඳවිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ද, දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත් බව ඉහත ආරංචි මාර්ගයම සදහන් කළේ ය.

පළාත් සභාවල අනාගතය පිළිබද බ්‍රහස්පතින්දා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද, ප්‍රශ්න කැරිණ. එහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා මේ වන විට වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ පළාත් සභා අක්‍රීයව පවතින බව පෙන්වා දුන්නේ ය.

“විශේෂයෙන්ම, උතුර සහ නැගෙනහිර වෙනුවෙන්ම සහ එම පළාත්වල ගැටලු විසදීම වෙනුවෙන්ම තමයි මෙම ක්‍රමය හදුන්වාදුන්නේ. නමුත් එය අනෙක් පළාත්වලත් ස්ථාපිත කෙරුණා. මේ පළාත් සභා නොමැතිව රටේ කටයුතු අදාළ පරිදි සිදුවෙලා තිබෙනවා. අඩුම තරමින් පළාත් සභා මැතිවරණ පවත්වන ලෙස බලකර විරෝධතාවයක් හෝ පවත්වා නැහැ” යයි කී ඔහු 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී, සිදුනොවුණු බව ඒ පිළිබද විමැසුණු විට ඔහු පැවසුවේ ය.

ව්‍යවස්ථාව කෙටුම්පත් කරන විද්වත් කමිටුව මේ කාරණය ගැන දීර්ඝ වශයෙන් අධ්‍යනය කරනු ඇති. ඒ අනුව, අදාළ පරිදි අපි අපේ දේශපාලන තීන්දු තීරණ ගන්නවා. 1987 වසරේ අත්සන් තැබුණු ඉන්දු-ලංකා ගිවිසුම තවමත් ක්‍රියාකාරී මට්ටමේ පවතිනවා ද යන්නත්, එහි සදහන් කාරණාවලට ශ්‍රී ලංකා රජය අදටත් බැදී සිටිනවා ද යන්නත්, නීතිමය පදනමකින් විමසුමට ලක්කළ යුතු දේවල්. මේ ගැනත් විද්වත් කමිටුව එහි තීන්දුව ප්‍රකාශයට පත්කරාවි. ඒ මත සිට අපි අපේ තීරණ ගන්නවා.

පළාත් සභා මැතිවරණ නීති සංශෝධනය කිරීම හරහා පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල්දැමීමට පැවති යහපාලන රජය පියවර ගත් අතර, ඒ සදහා ඔවුන්ට සහාය ලබාදුන්නේ දෙමළ ජාතික සන්ධානයයි. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ ඒබ්‍රහම් සුමන්තිරන් මෙම ව්‍යායාමයේ කැපී පෙනුණු චරිත වූහ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට පවතින ඉඩකඩ සම්බන්ධයෙන් විමසූ විට සම්බන්ධන් දුන් පිළිතුර මෙවැනි විය.

“13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවා නම්, එය තමයි රජය කරන විශාලතම වරද වනු ඇත්තේ. එම සංශෝධනය පදනම්වෙලා තිබෙන්නේ ඉන්දියාව සමග ඇතිකරගත් ද්විපාර්ශවීය ගිවිසුමක් මත. එය අත්සන් තැබුණේ දෙමළ ජාතිකයන් මුහුණදෙන ගැටලුවලට විසදුම් ලබාදීම සදහා. පළාත් සභා ක්‍රමයත් හදුන්වාදී තිබෙන 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම වෙනුවෙන් රජයේ ඇතැම් කොටස් ප්‍රසිද්ධියේම පෙනී සිටිමින් ඉන්න බව අපි දන්නවා. එය රජය කරන බරපතල වරදක් වේවි”

“උතුරු හා නැගෙනහිර පළාත්වල පළාත් සභා ක්‍රමය දිගු කාලයක් පුරාවට අක්‍රීය තත්ත්වයේ පැවතුනත්, දිවයිනේ අනෙක් පළාත්වල පළාත් සභා ක්‍රමය ක්‍රියාකාරීව පැවතුණා. පළාත් සභා අහෝසි කරන්නටය කියා එම අනෙක් පළාත්වලින් හෝ හඩක් නැගුණේ නැහැ. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නට රජය ගන්නා ඕනෑම උත්සාහයකට අපි සම්පූර්ණයෙන්ම විරෝධය දක්වනවා”


ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර