(අංජුල මහික වීරරත්න)

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහයක නිරතව සිටි භික්‍ෂූන් වහන්සේ ඇතුළු ගිහි පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා පොලිසිය අද (22)රාත්‍රී අධිකරණ නියෝගයක් රැගෙන පැමිණ නියෝගයේ සඳහන් කාරණා කියවා පැහැදිලි කර දුන්නේය.

පොලිසිය මුලින්ම එහි පැමිණ නියෝගය ප්‍රකාශයට පත් කරන විට පරිශ්‍රයේ රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස කලහකාරී ලෙස හැසිරුණු අතර පොලිසිය අදාළ අධිකරණ නියෝගය කියවා එම ස්ථානයෙන් මදක් ඉවත්ව ගොස් නැවතත් එහි පැමිණ දෙවන වරටත් නියෝගය කියවා භික්ෂූන් වහන්සේලා වෙත බාර දුන්නේය.

විහාර මහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසකගෙන් මහජන පීඩා ඇතිවන බවට කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව අදාළ අධිකරණ නියෝගය ලබා දී තිබෙන බව සඳහන්ය.

මේ අතර භික්ෂූන් වහන්සේලාට විහාර මහා දේවී උද්‍යානයෙන් ඉවත් වෙන ලෙසට අධිකරණ නියෝගයක් ලැබුණු බව ආරංචි වූ සැණින් පිවිතුරු නායක උදය ගම්මන්පිල මහතා එහි පැමිණියේය.

ගම්මන්පිල මහතා භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසූයේ තලන්න තලන්න නැවත නැගිටින බවයි. ස්වාමීන් වහන්සේලාගේ සටන තලන්න පොඩි කරන්න පුළුවන් නමුත් ඒ සටන නතර කරන්න බැරි බවද ගම්මන්පිල මහතා පැවසීය.

සටන ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි භික්ෂූන් වහන්සේලා තීරණය කරනු ඇති බවත් ඊට දිය හැකි උපරිම සහය දෙන බවත් ගමන්පිල මහතා වැඩිදුරටත් කීය.