(යොහාන් භාසුර)

විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත් එය ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ තනි තීරණයක් නොවන බවත් ප්‍රවාහන කැබිනට්  අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (4) පස්වරුවේ පැවසීය.

එම හිටපු අමාත්‍යවරු ආමාත්‍ය ධූරවල කටයුතු කරමින් ජනාධිපතිවරා සහ මුදල් අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ සමස්ත ක්‍රියාවලියයට පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව කී අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එම තීරණය ඔවුන් දෙදෙනාට පමණක් එරෙහිව ගත් තීරණයක් නොව මීට පෙර සිසුල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාට එරෙහිව ද ක්‍රියාත්මක කළ බව සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව පිහිටුවීමේ අදාල හිටපු අමාත්‍යවරු දෙදෙනා කළ සේවයේ ගෞරවය එසේම පවතින අතරම ඔවුන් අමාත්‍ය ධූරවලින් ඉවත්කිරීම පිළිබඳව සතුටක් නොමැති බවත් ඔවුන් මේ දක්වා ආණ්ඩුවෙන් ඉවත්ව නොමැති බවත් අමාත්‍ය අමුණුගම මහතා කීය.

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක් පසුගියදා පැවත්වූ සමුළුවේදී ඉදිරිපත් කළ යෝජනා මාලාව යෝජනාවකට වඩා ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කිරීමක් බව කී අමුණුගම මහතා සඳහන් කළේය එම ප්‍රතිපත්ති මාලාව ඉදිරි ඡන්දයක් ඉලක්ක කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයක් වැනි බවත්ය.

පොදු ජන පෙරමුණේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත යන මහත්වරු එරෙහිව ද එම පක්‍ෂයේ විනය නීතිවලට අනුව ක්‍රියාත්මක වියයුතු බව ද අමාත්‍යවරයා කීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රවාහන කැබිනට්  අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එසේ පැවසීය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ඉවත් කිරීමේ තීරණය ගැනීම සඳහා ජනාධිපතිවරයා සියලු දෙනා රැස්කළ බවත් එම රැස්වීමට අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරරු සහභගා වූ බවත් සියලු දෙනාගේ අදහස් ලබාගෙන ජනාධිපතිවරයාට ඇති බලතල අනුව එම ඉවත්කිරීම ක්‍රියාත්මක කළ බවත්ය.

බලශක්ති අමාත්‍යවරයා උදය ගම්මන්පිල මහතා සිය අමාත්‍ය ධූරයේ කටයුතු නිසි ලෙස ඉටුනොකරමින් අදාල නැති විෂයන් පිළිබඳව අදහස් ප්‍රකාශ කළ බව කී රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා ගම්මන්පිල මහතා මාධ්‍යයට කළ ප්‍රකාශ ජනතාව කළබල වී දිගු පෝලිම් නිර්මාණය වීම දක්වා වන වර්තමාන බලශක්ති අර්බුදයට හේතු වූ බව ද සඳහන් කළේය. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)