(ටී.කේ.ජී.කපිල)

වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මගුල් කඩුව , ලෙව්කේ මහ දිසාවගේ කාළතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06 ක් අද අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.

එසේ රැගෙන විත් තිබූ කෞතුක භාණ්ඩ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මගුල් කඩුව , රජතුමාට අයිති රිදී කස්තානය , රජතුමාගේ රන් පිහිය ලෙව්කේ මහ දිසාවගේ කාළතුවක්කුව , සහ මහ තුවක්කු දෙකක් විය .

මෙම කෞතුක භාණ්ඩ අද අලුයම 05.05 ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 554 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම කෞතුක භාණ්ඩ භාර ගැනීම සදහා බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර විකවික්‍රමනායක , ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාච් ( Bonnie Horbach ) , බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ , එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි , ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි , කොළඹ ජාතික කෞතුකාගාර අධිකාරී රංජිත් හේවගේ , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් ශ්‍රී .රජීව් යන මහත්ම මහත්මීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

මෙම කෞතුක භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය  අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත භාර දුන් අතර පසුව එය අමාත්‍යවරයා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය වෙත භාර දීම සිදු කෙරුණි .