මේ වන විට රටක් වශයෙන් ගෙවනු ලබන ණය පොලී ප්‍රමාණය සියයට 80 සිට සියයට 40 දක්වා අඩු වී ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ රජය ගෙන ගිය ක්‍රමානුකූල වැඩපිළිවෙළ හේතුවෙන් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වූ බවයි.

ණය ලබාගෙන යැපෙන ආර්ථිකයක් වෙනුවට රට තුළ ආර්ථික වර්ධනයක් ඇති කර එම වර්ධනය තුළින් ණය ගෙවීමේ යාන්ත්‍රණයක් රජය විසින් සකස් කර ඇති බවත්, ඒ අනුව ජාත්‍යන්තර කීර්තියට පත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙරට ආර්ථිකය පිළිබඳව මනා අධ්‍යයනයකින් පසුව ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත ඉහළ නංවා ඇති බවත් ඔහු පැවැසිය.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+/C’ මට්ටමේ සිට ‘B-/B’ මට්ටම දක්වා ඉහළ නංවා ඇති බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව, දිගුකාලීන විදේශ මුදල් සහ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම් දෙකම ‘CCC+’ සිට ‘B-’ දක්වා ඉහළ නංවා ඇති අතර, කෙටිකාලීන විදේශ මුදල් සහ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම් ‘C’ මට්ටමේ සිට ‘B’ මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.