(අංජුල මහික වීරරත්න)

මෙරට ප්‍රථම ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු 2027 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ඖෂධ ආනයනය මත පවතින යැපීම අවම කර දේශීය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම සහ අපනයන ආදායම ඉහළ නැංවීම ඉදිරි දශකයේදී රජයේ ප්‍රමුඛ අරමුණක් බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගාල්ල, කොග්ගල අපනයන සැකසුම් කලාපයේ පිහිටි Premium International Injectable (Pvt) Ltd ආයතනයේ ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

රුපියල් බිලියන 3කට අධික ආයෝජනයකින් ඉදිකර ඇති මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමට පෙර සිදු කළ යුතු වලංගුකරණ (Validation) ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව, 2027 වසරේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඉන්සියුලින් නිෂ්පාදනයට අමතරව නිර්වින්දන ඖෂධ සහ වේදනා නාශක ඇතුළු ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීමට ද ආයතනය සැලසුම් කර තිබේ. ඉදිරියේදී ඖෂධ වර්ග 33ක් දක්වා නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම එහි අරමුණයි.

මෙරට රෝහල් පද්ධතිය සඳහා අවශ්‍ය ඖෂධවලින් සියයට 85–90ක පමණ ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවන අතර, මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ මඟින් සපුරාලනු ලබන්නේ සියයට 10–15ක පමණ අවශ්‍යතාවක් බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ සැපයුමට ඇති වූ බාධා සැලකිල්ලට ගනිමින්, පසුගිය වසර දෙක තුළ රෝහල් පද්ධතියට අඛණ්ඩව ඖෂධ සැපයීම සහතික කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ.