(යොහාන් භාසුර)

රියදුරන්ට මෝටර් රථ වැරදි සඳහා අකුසලතා ලකුණු එකතු වන ක්‍රමය ලබන වසරේ අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා අද (22) පැවසීය.

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා එසේ පැවසීය.

ලබන අප්‍රේල් මස සිට මෝටර් රථ ධාවනයේදී කරන වැරදි සඳහා ලකුණු එකතු වෙන ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතර ඒ අනුව එක් එක් වැරැද්දට වෙන වෙනම ලකුණු එකතු වන බවත් ලකුණු 30ක් එකතු වූ පසු එම පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය අවලංගු වන බවත් ඒ මහතා කීය.

මෙම මස 1 වැනිදා සිට ලබන මාර්තු 31 වැනිදා දක්වා මෙම අකුසලතා ලකුණු පිළිබඳව පොලිසිය හරහා රියදුරන් දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කළ බව කී ඒ මහතා පැවසුවේ මෙහිදී රියදුරන් වෙතින් වන වැරදි 25 ක් හදුනාගෙන ඒවාට නිර්ණායක අනුව ලකුණු 3 සිට 7 දක්වා ලකුණු එකතු කර උපරිමයක් ලෙස ලකුණු 30 ක් එකතු වූ ස්ථානයේදී රියදුරු බලපත්‍රය පොලිස් භාරයට ගන්නා බවත්ය.

එතැන් සිට වසරක කාලයකට එම රියදුරු බලපත්‍රය තහනම් වන බවත් කෙසේ වෙතත් රියදුරු බලපත්‍රය නැවතත් ලබාගැනීමට අවශ්‍ය නම් සහතික ලත් රියදුරු පාසලකින් හෝ ලංගම හරහා පුහුණුවක් ලබා රියදුරු බලපත්‍රයේ තහනම මාස 9 කින් කප්පාදු කරන බව ද ඒ මහතා කීය.

මෙම ක්‍රියාවලිය සඳහා නව ‘ඇප්’ එකක් හදුන්වාදී ඒ හරහා වැරැද්ද කළ පසු ඔහුගේ දුරකථනයට එකතු වූ ලකුණු ප්‍රමාණය ලැබෙන බවත් පොලිස් නිලධාරීන්ට ලබාදීමට නියමිත උපකරණය හරහා ඔවුන් එය හදුනාගෙන අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු කීය.