(අජිත්ලාල් ශාන්තඋදය)

ගොරකඇල සිට තෙප්පනාවල කුරුවිට හරහා රත්නපුර දක්වා රත්නපුර ලංගම ඩිපෝවෙන් පාසල් සිසුන් ප්‍රවාහනයට සිසුදැරිය බස්රථයක් ධාවනයේ යෙදවීමට එරෙහිව එම මාර්ගයේ පුද්ගලික බස්රථ දින දෙකක් තිස්සේ ආරම්භ කළ වැඩවර්ජනය අද (19) ද පැවැත්විණි.

වර්ජනය හේතුවෙන් කදන්ගොඩ සිට ගොරකඇල දක්වා වු මගීන් ප්‍රවාහන ගැටලුවකට මුහුණ දී සිටිති. වර්ජනයේ නිරත පුද්ගලික බස් රථ සේවකයින් පවසන්නේ මෙම සිසුසැරිය බස්රථය උදේ හයට ගොරකඇලින් ගමන් අරඹන වෙලාවටම පුද්ගලික බස්ථයක්ද කුරුවිට දක්වා පිටත්වීමට ගමන් අරඹන බවයි.

මැවතිවරණ සමයේ දේශපාලන වාසි ගැනීමට මෙම බස් රථය ධාවනයට යෙදවු බවට ද ඔවුහු චෝදනා කරති.

 කුරුවිට පොලීසියට සහ රත්නපුර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ද පැමිණිලි කළ බවද වර්ජනයට එක්ව සිටින බස් රථ සේවකයෝ කීහ.

සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සාමාන්‍යාධිකාරී  දමිත් ප්‍රියන්ත බටවල මහතාගෙන් විමසු අවස්ථාවේ ඔහු පැවසුවේ තමන්ට ද එවැනි පැමිණිල්ලක් ලැබුණු බවයි.

ඒ සම්බන්ධව රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට සහ රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද දැනුවත් කළ බව ඔහු කීවේ ය.

 එකම වේලාකට ලංගම සහ පුද්ගලික බස් රථ දෙකක් එකම මාර්ගයේ ධාවනය වීම බස් හිමියන් පවසන ආකාරයට ගැටලුවක් බව ද ඔහු කීය.

මේ අතර සිසුසැරිය බස් රථයේ ගමන්ගන්නා දරුවන්ගේ මව්පියන් පැවසුවේ මේ සිසුසැරිය බස්රථය අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් බවයි.