ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීම විවාදයකට තුඩු දී තිබේ. ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 104,237ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වන විට මහාධිකරණයෙන් මරණීය දණ්ඩනයට නියම කරනු ලැබ සිටීම එයට හේතුවයි. එකී නඩු තීන්දුවට එරෙහිව ජයසේකර මහතා අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබේ. එම ඇපෑල තවම උසාවිය හමුවේ විභාගයට ගෙන නැත.

මරණීය දණ්ඩනයට යටත්ව සිටින පුද්ගලයකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ අයිතියක් නැති බවට ප්‍රකාශ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති නීති රෙගුලාසි හේතුවෙන් ප්‍රේමලාල් ජයසේකර මහතාට දිව්රුම් දිය නොහැකි බවට නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ. එහෙත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ප්‍රේමලාල් ජයසේකර මහතාට මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට තිබෙන අයිතිය වැළැක්වීමට නීතිපතිවරයාට අයිතියක් නැති බවය. මේ අනුව ආණ්ඩුවත් නීතිපතිවරයාත් අතර මතවාදී ගැටුමක පෙරනිමිති පහළවෙමින් තිබේ.

මේ ගැටලු‍වේ ආරම්භය වූයේ පාර්ලිමේන්තුව කැඳවූ දිනයේදී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට නොකැඳවීම පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් පිරිසක් කථානායකවරයාගෙන් කරන ලද විමසීමය. එහිදී කථානායකවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබුණේ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට මීළඟ රැස්වීම් වාරයේදී කැඳවාගෙන  එන ලෙසට ය. ඒ පිළිබඳව නීතිමය තත්ත්වය විමසා බලා කටයුතු කිරීමට තීරණය කර තිබූ බන්ධනාගාර අධිපතිවරයා අදාළ ගැටලු‍ව අධිකරණ අමාත්‍යාංශයට යොමු කර තිබිණි. අමාත්‍යාංශය එය නීතිපතිට යොමුකිරීමෙන් පසුව තම මතය වශයෙන් නීතිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මිනීමැරුමක් සම්බන්ධයෙන් වරදකරු කොට මරණීය දණ්ඩනයට යටත් කර ඇති බැවින් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට නුසුදුස්සකු වන බවය එහෙත් ආණ්ඩුව පවසන්නේ ජයසේකර මහතා ඇපෑලක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහුට මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට බාධාවක් නැති බවය.

රජය මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය රටට ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන වාසුදේව නානායක්කාර මහතාය. ප්‍රේමලාල් ජයසේකර මහතා තම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර ඇති ඇපෑල විභාග කර අවසාන වනතුරු ඒ මහතා නිදොස් පුද්ගලයකු වන බැවින් ඔහු දිව්රුම් දීම පිළිබඳ තීන්දුව කථානායකවරයා විසින් ගත යුතු බවත් එය වැළැක්වීමට නීතිපතිවරයාට හැකියාවක් නැති බවත් නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබිණි. එහෙත් නීතිපතිවරයා තම අදහස දන්වා සිටීමේ දී කියා තිබුණේ අභියාචනය නිසා මරණ දඬුවම තාවකාලිකව නැවතුණත් වරදකරුවීම අත්හිටුවා නැති බවය. තත්ත්වය එසේ වුවද ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට ලබන 08 වැනිදා කැඳවාගෙන එන්නැයි කථානායකවරයා නියෝග කර තිබේ. මීට විරුද්ධ මතයක් රජයේ වෙනත් වගකිව යුතු අයගෙන් ප්‍රකාශ වී නැති හෙයින් මෙය රජයේ ස්ථාවරය බව අපට පිළිගැනීමට සිදුවෙයි.

ආණ්ඩුව දරන ස්ථාවරය එය නම් අධිකරණ අමාත්‍යාංශය මගින් අදාළ කාරණාව නීතිපතිවරයාට යොමුකිරීමේ තේරුම කුමක්දැයි යන ගැටලු‍ව මතුවෙයි. නීතිපතිවරයා දරන මතයට ආණ්ඩුව එකඟ නොවන්නේ නම් නීතිපතිවරයාගේ අදහස් විමසීමේ කාර්යය නිෂ්ඵල ව්‍යායාමයකි. හැම ආණ්ඩුවක්ම කටයුතු කළේත් ඉදිරියේ කරනු ඇතැයි උපකල්පනය කරන්නේත් නීතිපතිවරයා තමන්ට අවශ්‍ය අදහස ප්‍රකාශ කළ විට එය පිළිගැනීමටත් තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා කිරීම වළක්වන අදහසක් ප්‍රකාශ කළ විට එය නොපිළිගැනීමටත් බව මෙයින් පැහැදිලි වෙයි.

මෙයට සම්බන්ධ තව උදාහරණයක් පසුගිය යහපාලන රජය සමයේ අපට දැකගත හැකි විය. එවකට හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2017 වසරේ දී පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනත සම්බන්ධයෙන් නීතිපතිගේ මතය විමසුවේය. එහිදී කාරක සභා අවස්ථාවේදී පනත අවශ්‍ය පරිදි සංශෝධනය කළ හැකි බවට නීතිපතිවරයා දැනුම් දී ඇතැයි ප්‍රකාශ කරමින් කථානායකවරයා එම සංශෝධන සිදුකිරීමට ඉඩ ලබා දුන්නේය. යහපාලන රජය කළේ දින නියමයකින් තොරව පළාත් සභා ඡන්දය කල් දැමීමට අවස්ථාව සැලසෙන පරිදි සංශෝධන ගණනාවක් එම පනතට ඔබා දැමීමය. මෙය අවශ්‍ය වෙලාවට කබරයා තලගොයා කර ගැනීමට දෙවැනි නැත.

කථානායකවරයා මෙහිදී කරන ප්‍රකාශය ද ඉතා වැදගත් වෙයි. ඔහු කියන්නේ මහමැතිවරණය සඳහා ප්‍රේමලාල් ජයසේකර මහතා නාමයෝජනා ලබාදුන් අවස්ථාවේ දී ඔහුට එරෙහිව කිසිවකු හෝ විරෝධයක් නොදැක්වූ බවත් ජයසේකර මහතාට ඡන්දය ලබා දී ඔහු පාර්ලිමේන්තුවට එවූ ලක්ෂයකට අධික මහජනතාවගේ පරමාධිපත්‍යය රැකදීමට තමා බැඳී සිටින බැවින් ලබන 08 වැනිදා ඔහු දිව්රුම් දීම සඳහා කැඳවන බවත්ය. ජනතාවගේ පරමාධිපත්‍යය රැකදීම සම්බන්ධයෙන් කථානායකවරයා දරන අදහස සමඟ අපි ද එකඟ වෙමු. එහෙත් පරමාධිපත්‍යය පිළිබඳ වගකීම තමන්ට වාසිදායක අවස්ථාවලදී පමණක් යොදාගැනීමට කටයුතු කළහොත් එය වැරදි බව කීමට ද අපි නොපැකිලෙමු.

මන්ත්‍රීවරයකුගේ දිව්රුම් දීම රජය සහ නීතිපති අතර ගැටුමක් බවට පත් නොවිය යුතුය. එවැනි ගැටුම් රටේ ජනතාව තුළ ඇතිකරන්නේ අප්‍රසන්න හැඟීමක් පමණි. මෙවැනි ගැටලු‍ සඳහා අවශ්‍ය වන්නේ තාවකාලික ‘‘කේස් බයි කේස්’’ විසඳුම් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට ඇතුළු කරන තිරසාර වගන්තියක් හරහා ලැබෙන විසඳුමකි. වඩාත් වැදගත් වන්නේ මහජන නියෝජිතයන් වශයෙන් මෙවැනි බරපතළ අපරාධවලට ගෑවී සිටීමෙන් වැළකීම බවද ඒ සමඟ සිහිපත් කර දීමට කැමැත්තෙමු.


(***)