(ඩයනා උදයංගනී)

දිවයිනේ පළාත් රැසකට අද (13) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේද ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේත් මද වැසි ඇතිවන බව ඔහු කීවේය.

සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම මෙම මස 14 වැනිදා දක්වා සිදු වන අතර ඒ අනුව අද (13) දහවල් 12.10 ට තිකාලි, මලාවි, වන්නිවිලන්කුලම්, ඉදායික්කාඩු සහ ආනන්දන්කුලම් යන ප්‍රදේශයන්ට ඍජුවම හිරු මුදුන්වන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.