නේපාලයේ සහ චීන පාලනය යටතේ පවතින ටිබෙටයේ ජීවිත බිලිගත්, ග්ලැසියර් කඩා වැටීම සහ හදිසි ජල ගැල්මට හේතුව, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම යැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.

පස් සහ මඩ තට්ටු සමග, ඒ මහා ජල කඳ ‘භෝටේකෝෂි’ ගංගාව දිගේ හිටිහැටියේ පහළ නිම්නයට කඩා වැදුණේ ඉකුත් 26 වැනිදා උදෑසනය. ‘භෝටේකෝෂි’, නේපාලයට පෙර ටිබෙටය හරහා ගලා බසී. ටිබෙට් වැසියන් මෙය හඳුන්වන්නේ ‘පොයිකු’ යන නමිනි. 

සිදුවුණු ව්‍යසනයෙන් නේපාලයේත්, ටිබෙටයේත් සිදුවුණු මරණ ගණන දහස පසු කර ඇත. දහස් ගණනක් තවමත් අතුරුදන් බව පැවැසෙයි. ඒ අනුව මරණ සංඛා්‍යව තවත් ඉහළ යනු ඇතැයි නේපාල මෙන්ම චීන බලධාරීහු ද බිය පළ කරති.

දිවි ගලවා ගැලීමේ මෙහෙයුම් නොකඩවා සිදුවන අතර, නේපාල හමුදාව දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටී. ටිබෙටයේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට චීන රජය එරට හමුදාව යොදවා ඇත. අයහපත් කාලගුණය දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් යැයි ද පැවැසෙයි.

නිවාස සහ ගොඩනැගිලිවලට අමතරව, නේපාලයේ ජල විදුලි බලාගාර කීපයක් ද, මහා ජල කඳට හසුවුණු බවත් ඒවායේ රාජකාරි කළ සේවකයන් 900 දෙනකු අතුරුදන් බවත් ඔවුන් සොයා මෙහෙයුම් සිදුවන බවත් පැවැසෙයි.

මීට අමතරව, සැඬ ජල පහරට හසුවීමෙන්, නේපාල නිම්නයේ පාසල් 69 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව, යුන්සෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාසල් විනාශ වීමෙන්, පාසල් සිසුන් 19,000 කට වැඩි ගණනකට අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට නොහැකි වී ඇතැයි ද පැවැසෙයි.

නේපාලය දිගේ පහළට ඇදී යන ‘භෝටේකෝෂි’ ගංගාව ඉන්දියාවේ ගංගා නදිය හා එක් වෙයි. ඉන්පසු එය මුහුදට ගලා බසී. සැඬ ජල පහරට හසුවුණු නේපාල වැසියන්ගේ මළසිරුරු ඉන්දියාවේ ගංගාවලින් හමුවන බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉකුත් 26 වැනිදා නේපාලය සහ ටිබෙටය භූමිය දෙදරා ගියේය. රික්ටර් මාපකයේ එය සටහන් වූයේ 4.4 ක් ලෙසය. කෙසේ නමුත්, ඇමෙරිකන් භූ විද්‍යාඥයන් පසුව අනාවරණය කළේ මෙය සාමාන්‍ය භූමිකම්පාවක් නොව, හිමාලයේ ග්ලාසියර් විලක් කඩා යෑමෙන් දැණුනු කම්පනයක් බවය.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ගෝලීය උණුසුම, අන් කවරදාටත් වඩා දිනෙන් දින ඉහළ යෑම හිමාල අඩවියේ අති ග්ලාසියර් දියවෙමින් පවතින බවත්, ග්ලාසියර් විල් කඩා යෑමට හේතුවක් වී ඇති බවත්, ඉදිරියේදී, තව තවත් ග්ලැසියර කඩා වැටීම් සිදුවී පස් කඳු කඩා වැටීම්, මහා ජල ගැලීම් ආදී ස්වභාවික ව්‍යසන ඇති විය හැකි බවත් ඇමෙරිකන් විද්‍යාඥයෝ වැඩිදුරටත් අනතුරු අඟවති.

සිදුවුණු මහා ස්වභාවික ව්‍යසනය සහ එයින් හටගත් ආපදා තත්ත්වය සම්බන්ධයෙන් නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානල් සහ චීන විදේශ අමාත්‍ය වැං යී අතරේ විශේෂ දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ජල විද්‍යාත්මක දත්ත හුවමාරු කර ගැනීමට දෙපාර්ශ්වය එකඟ විය. 

ආපදාවට ලක් වුණු ප්‍රදේශවල චන්ද්‍රිකා ඡායාරූප, ජලවිද්‍යාත්මක දත්ත සහ ඉහළ ගංගාධාරවල නිර්මාණය වී ඇති තාවකාලික ජල බාධක විල් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් චීනය විසින් නේපාලයට ලබා දීමට ද පියවර ගෙන ඇතැයි පැවැසෙයි.

ගෝලීය හරිතාගාර වායු විමෝචනය සඳහා නේපාලයේ දායකත්වය සියයට 0.01 කටත් වඩා අඩු වුව ද, කාලගුණික විපර්යාසවල දරුණුතම බලපෑමට මුහුණ දීමට තම රටට සිදුව ඇති බව නේපාල විදේශ අමාත්‍යවරයා එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීමක් ද කළේය.

හිමාල පරිසර පද්ධතිය මත යැපෙන බිලියන 2 කට ආසන්න ජනගහනයට මෙන්ම නේපාලයට සහ චීනයට එල්ල වී ඇති මෙම අවදානමෙන් මිදීමට ජාත්‍යන්තර ප්‍රජාව වහාම එක්විය යුතු බව ද නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානල් අවධාරණය කළේය.

සිදුවුණු මෙම මහා ව්‍යසනය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රධානී සයිමන් ස්ටීල් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ අසීමිත ලෙස ගල් අඟුරු, තෙල් සහ ගෑස් දහනය කිරීමෙන් උණුසුම් වන ගෝලීය කාලගුණය මෙවැනි ස්වභාවික ආපදා තත්ත්වයන්ට හේතුවනු ඇති බවත්, විපරිත කාලගුණ පෙරළි නිර්මාණය වනු ඇති බවත්ය. 

මේවනවිට රටවල් බොහොමයක් එල් නීනෝ විපරිත කාලගුණ තත්ත්වයෙන් පීඩා විඳින්නේ ද මිනිස් ක්‍රියාකාරකම්වල අනිසි ප්‍රතිඵලයක් නිසා යැයි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රධානී සයිමන් ස්ටීල් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.