IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


නර්තනයේ සැබෑ රිද්මය

ශ්‍රී ලාංකීය නර්තන කලාවේ ජා්‍යන්තර සලකුණ ලෙස පිළිගැනෙන ‘චිත‍්‍රසේන - වජිරා’ යුවළ ගැන නර්තනයේ ආධ්‍යාත්මය  සොයා යන කිසිවෙකුට අමුතුවෙන් යමක් කිවයුතු නැත. ඒ අතිශය නිර්මාණාත්මක වූ මහා නර්තන ශිල්පියා අද අප අතර නැත. එහෙත් වජිරා පරපුරෙන් - පරපුරට තවත් ශිල්ප ලබාදෙන්නීය. ඇයට ශක්තියක් වූ උපේඛා සහ අංජලිකා දියණියන් චිත‍්‍රසේනයන්ගේ නර්තනයේ විශ්මිත හැඩතල උගෙන හදාරා වත්මන් පරපුරට ගුරු වෙමින් සිටී. නමුත් වත්මනෙහි මේ පරපුරේ අය අතරින් වැඩිදෙනා කතාබහ වෙන්නේ ‘චිත‍්‍රසේන - වජිරා’ යුවළගේ මිණිපිරියන් වන හේෂ්මා සහ තාජි ගැනය. මේ පරපුරු කීපයක සුසංයෝගය සමග එනම් ප‍්‍රවීණතම නර්තන ශිල්පිනී සහ නර්තන ආචාරිනී වජිරා මෙන්ම උපේඛා සහ අංජලිකා දෙටු පරපුරේ ආභාසය සහ ගුරුහරුකම් ලබමින් වත්මන් කරළිය හැඩ කරන හේෂ්මා (චිත‍්‍රසේන, වජිර යුවළගේ වැඩිමහල් මිණිපිරිය) අධ්‍යක්‍ෂණය කළ ඩාන්සින් ෆෝද ගෝඞ්ස් (Dancing For The Gods) නර්තන වින්‍යාසය එළිදැක්වෙන මොහොතයි මේ. තාජි යන වත්මනෙහි තරුණ පරපුරේ සිටින වඩාත් නම්‍යශීලී නර්තන ශිල්පිනිය ප‍්‍රමුඛ චිත‍්‍රසේන වජිරා කලායතනයේ නර්තන ශිල්පිනියෝ සහ ශිල්පීහු මීට දායක වෙති. උඩරට නර්තන සම්ප‍්‍රදායේ විකාශය වූ අංගයක් වන කොහොඹා කංකාරිය (දෙවියන් උදෙසා කරනු ලබන රංගන වින්‍යාසය) තේමා කරගෙන මෙම අපූරු ප‍්‍රසංගය පැවැත්වෙන්නේ මෙම 8 සහ 9 යන දෙදින සවස 7 ට කොළඹ ලයනල් වෙන්ඩට් රංග ශාලාවේදීය. සෑම වසරකම පැවැත්වෙන මෙම අපූරු නර්තන රංගනය වෙනුවෙන් විශේෂිත වූ කැපවීමක නිරත වෙමින් අභ්‍යාසයේ යෙදෙමින් මේ පිරිස පෙරහුරු කරන මොහොතක එහි රිද්මය දැක්මට අපි චිත‍්‍රසේන - වජිරා කලායතනයට ගියෙමු. ඒ නර්තන රිද්මයේ හැඩතල නරඹන අතරේ ප‍්‍රවීණ නර්තන ශිල්පිනී උපේඛා සමග අපි නර්තනය ගැන යමක් කතා කළෙමු. මේ කලායතනයෙහි ආරම්භය ගැන සඳහනක් කළොත්? 1944 දී විතර තමයි තාත්තා චිත‍්‍රසේන කලායතනය ආරම්භ කරලා තියෙන්නෙ. නමුත් මේ ඉඩමෙ නෙවෙයි. මුලින්ම කලායතනය තිබුණෙ කොල්ලූපිටියෙ. මේ ඉඩම 1998 විතර අපට ලැබුණේ හිටපු ජනපතිනිය චන්ද්‍රිකා මැතිණියගෙන්. 82 සිට 98 වෙනතෙක් නිශ්චිත තැනක් නැතිව වෙන වෙන තැන්වලට මුදල් දී තමයි පංති පැවැත්වූවේ. 2006 දී විතර මෙතැන නිශ්චිත තැන වුණා. ශ්‍රී ලාංකීය නර්තන සලකුණ වූ චිත‍්‍රසේන - වජිරා සහ ඔබ සහ අංජලිකාගේ පරපුරෙන් පසුව අද මෙතැන වෙන්නේ මොනවාද? ඇත්තටම අද තුන්වෙනි පරම්පරාව තමයි මෙය බාරගෙන තිබෙන්නේ. නංගිගෙ දුව හේෂ්මා නිර්මාණය කළ ‘ඩාන්සින් ෆෝ ද ගෝඞ්’ මෙලෙස කරළියට ගෙනඑන බව පවසන්න පුළුවනි. මේ නිර්මාණයෙහි පෙරහුරු දිහා බලා සිටියදී අපට බොහෝ දේ දැකගත හැකිවුණා. නර්තන ලීලාවට අමතරව භාෂා ප‍්‍රකාශයන් මෙන්ම අපේ සාම්ප‍්‍රදායික ප‍්‍රකාශයන් ප‍්‍රකාශ වෙනවා. නමුත් අද බොහෝදෙනා නර්තනය ලෙස හඳුනාගෙන සිටින්නේ මෙය නෙවෙයි නේද?  ඕනෑම තැනකදී නටන එක නර්තනය ලෙසයි සමහරු දකින්නේ. ඔබ නර්තනය ගැන විග‍්‍රහ කරන්නේ කොහොමද? නර්තනය යනු, ගුරුවරයෙකුගෙන් ඉගෙනගෙන පාරම්පරික විදියට උඩරට පහතරට සහ සබරගමු වැනි අපේ ශ්‍රී ලාංකීය ජන සමාජයේ වසර ගණනාවක් පුරාවට පැවත එන දේ ලෝකයට ඉදිරිපත් කිරීමයි. එහෙම නැතිව දකින දකින දේ කිරීම හෝ දකින දකින දේට නටන එක නර්තනය නෙවෙයි. අපේ නැටුම් සම්ප‍්‍රදාය අධ්‍යයනය කළ යුතුයි. එය ප‍්‍රගුණ කිරීම එතරම් පහසු දෙයක් නොවෙයි. ඒ හැරත් වෘත්තියක් ලෙස අපේ රටේ නර්තනයට එතරම් පිළිගැනීමක් නැහැ. ඒ නිසා වෙන්න ඇති ළමුන් ඒ අසීරුතා පසුපස නොගොස් මේ විදියට වෙන වෙන ලෙහෙසි දේ වලට නටන්න පෙළඹිලා සිටින්නේ. සෑම සින්දුවකටම නටන ඒවා අපේ නැටුම හෝ නර්තනය නොවෙයි. උඩරට පහතරට සහ සබරගමු සම්ප‍්‍රදාය අනුව අපට ශ්‍රී ලාංකීය ලකුණ, හැඩය, පැහැය සමග ශාස්තී‍්‍රය පදනමක් ගත් ඒ නර්තනය නිවැරදිව හදාරා ඉදිරිපත් කිරීමයි නිවැරදිව අපේ නර්තනය වෙන්නෙ. නමුත් අද බොහෝ විට නර්තන ගුරුවරුන් යැයි කියාගන්නා අයත් නිවැරදිව ගුරු හරුකම් ලබාදෙනවා යැයි කියන්නට බැහැ. නටන්න බැරි ආචාර්යවරු තමයි සමහරවිට උගන්වන්නේ. මේ නිසා නර්තනය යන්නෙහි හරය පිරිහී ඇති බව පෙනෙනවා. නැටුම කියන දේ පොතපතට පමණක් නොවේ නටලම ප‍්‍රායෝගිකව ඉගෙනගත යුතු දෙයක්. මොකක්ද නටලා ඉගෙනගන්න  ඕන? අපේ නැටුම අභ්‍යාසයක් ලෙස කළයුතු දෙයක්. නම්‍යතාව තියාගෙන පුහුණුවීමකින්, අභ්‍යාසයකින් කළයුතු දෙයක්. වේදිකාවට යන්න නම් පුහුණුව හරි විදියට අවශ්‍යයි. මෙන්න මේ නිසා තමයි නිවැරදි ගුරුහරුකම් අවශ්‍ය වෙන්නෙ. මට නම් නර්තනය යනු අභ්‍යාසයක්. මෙයින් ප‍්‍රකාශ කළහැකි දේ අපේ සංස්කෘතිය රැක ගැනීමයි. මේ ආධ්‍යාත්මය විදහාපාන්න පුළුවන් ඉහළම සංස්කෘතික අංගයයි. මේ බෙර සහිත අපේ නැටුම අපටම පමණයි. ඒ හරය තේරුම් ගත යුතුයි. මේකට ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ නිසා අපට සාඩම්බරව ලෝකයට ගිහින් මෙන්න අපි අපේ දේ නැටුවා කියලා කියන්න පුළුවනි. උඩරට නැටුම් නෘත හෙවත් ශුද්ධ නැටුමක්. නමුත් අප නර්තනයෙන් කතාන්දරයක් කියන්න උත්සාහ ගන්නවා. අපේ තාත්තා එය වේදිකාවට ගෙනාවේ එදා. ඒ රසය නාට්‍යමය අවස්ථා ලෙස මුහුණ පාවිච්චි කරන් පුළුවනි. කොහොඹා කංකාරියේ කතන්දරය තිබුණාට උඩරට නැටුම යනු ශුද්ධ නැටුමක්. දැන් මේ ප‍්‍රසංගය ගැන කතා කළොත්, මේ කරන්න හදන දේ මොකක්ද? අද වන විට උඩරට නැටුම යම්තාක් දුරකට පිරිහිලා කියලා මට හිතෙනවා. හැමෝම දැකලා දැකලා පිටරට අයත් දැන් අකමැති ගානයි. වෙස් ඇඳලා ගුවන් තොටුපළේ සිට, කී‍්‍රඩාංගණයේ සිට, මඟුල් ගෙදර සිට  ඕනෑම තැනක නටන තත්ත්වයට පත්වෙලා. සෑම තැනකම පිනුම් ගහන තත්ත්වයට පත්වෙලා. එය කරන්නෙත් හරි විදියට ඉගෙනගෙන නෙවෙයි. මෙන්න මේ නිසා නර්තනයේ (අපේ) රසය අපි නියමාකාර හැඩතල සහිතව පෙන්නුම් කළ යුතුයි. ඔබ කියන්නේ ඔබගේ මේ පරපුර පමණක් මෙය නිවැරදිව කරනවා කියන එකද? නැහැ, කොහෙත්ම නැහැ. අපි එක කොටසක් විතරයි. ඒ වෙනුවෙන් හොඳ නර්තන ශිල්පියෙක්, ශිල්පිනියෙක් අපේ රටෙන් බිහිකරන්නයි අපි උත්සාහ ගන්නේ. මේ ප‍්‍රසංගය විශේෂයෙන්ම කරන්නෙ උඩරට නැටුමේ ඇති අපූරු රසය, හැඩය, රිද්මය සහ ආකර්ෂණය පෙන්වීම සඳහායි. එය ප‍්‍රකාශ කරන්න කොහොඹා කංකාරිය වගේ අතීතයේ සිට පැවත එන විදි සහ ඇදහිලි තිබෙනවා. එදා සම්ප‍්‍රදාය නොමරා නමුත් අදට ගැලපෙන පරිදි නියම හැඩතල සහිතව මෙය ඉදිරිපත් කිරීම තමයි අරමුණ. මෙම ශාන්තිකර්මය එදා වගේ කළහැකි ගුරුන්නාන්සේලා අද අඩුයි. මම ඉගෙන ගත්තෙත් පියසාර ශිල්පාධිපති ගුරුතුමාගෙන්. කොහොඹා කංකාරියේ අපූරු රිද්මය මෙම ප‍්‍රසංගයෙන් ප‍්‍රකාශ කිරීම අරමුණයි. ඔක්තෝම්බර් මස 8 -9 යන දිනවල සවස 7 ට ලයනල් වෙන්ට්ඞ් ශාලාවේදී මෙය රංග ගත වෙනවා. www.ticketslk.com  මගින් ප‍්‍රවේශපත් ගැන විස්තර දැනගත හැකියි.

සටහන/ඡායාරූප සඳුන් ගමගේ
 



අදහස් (0)

නර්තනයේ සැබෑ රිද්මය

නිත්‍යා Wednesday, 09 January 2013 10:36 AM

රටේ අනාගත පරපුරට අපේ සංස්කෘතිකාංග දායාද කරන්න උත්සාහ කරන්න (ස)

:       0       0

ඉන්ද්‍රානි Thursday, 04 October 2012 01:28 PM

නියමයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site