නේපාලයේ මහා ජල ගැලීම හමුවේ, විදුහල්පතිවරයකුගේ ක්ෂණික තීරණයක් නිසා පාසල් සිසු දරු දැරියන් 900 දෙනකුගේ ජීවිත නූලෙන් බේරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ග්ලැසියර නායයෑමක් ​හේතුවෙන්, මහා ජල කඳ පහළ නිම්නයේ නේපාලය සහ ටිබෙටය හරහා ඇද ආවේ ඉකුත් 26 වැනිදා උදෑසනය. ජල කඳ පහළට ඇදී ආ ගංගාව දෙපස නිවාස, ගොඩනැගිලි මෙන්ම ගංගාව හරහා ඉදි කළ පාලම් ද සැණින් විනාශ විය.

ජල ගැලීමට හසුවීමෙන්, නිවාස සහ ගොඩනැගිලිවලට අමතරව, පාසල් 69 ක් විනාශ වී ඇති බවත්, සිසුන් 19,000 කට වැඩි පිරිසකගේ අධ්‍යාපන කටයුතු අඩපණ වී ඇති බවත් ‘සේව් ද චිල්ඩ්‍රන්’ ජාත්‍යන්තර ආයතනය පවසයි.

දරුවන් බේරා ගැනීමට සමත් වූයේ, නේපාලයේ නුවාකොට් පළාතේ ත්‍රිභූවන් ත්‍රිශූලී ද්විතීයික පාසලේ විදුහල්පති රාජේන්ද්‍ර දවාදි ය. පාසලේ සිසුන් 1,600 දෙනකු ඉගෙනුම ලබන අතර, එදා (26) ජල ගැලීම සිදුවන අවස්ථාවේදී, පාසලේ සිටියේ සිසුන් 900 දෙනෙකි.

ජල කඳ නිම්නය දිගේ පහළට ඇදී එන බව, දුරකතන පණිවුඩ ඔස්සේ විදුහල්පතිවරයා දැනගත්තේය. ඒ අනුව, ඔහු වහා ක්‍රියාත්මක වී, සිසු දරු දැරියන් බියට හෝ කලබලයට පත් නොකර, ඔවුන් සහ ගුරුවරුන් පාසලෙන් ඉනත් කර ඔවුන් උස් බිමකට රැගෙන යෑමට කටයුතු කළේය

සිසු දරු දැරියන් ඉවත් කර විනාඩි කිහිපයකින් මීටර් 100 ක් දුරින් තිබූ එක් නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ජල පහරට හසුව ගසාගෙන ගියේය.

මේ වනවිට ජල ගැල්මට බිලිවුණු නේපාල වැසියන් ගණන ඊයේ (30) වනවිට 781 දක්වා ඉහළ ගියේය. නේපාලයේ අතුරුදන් වූ ගණන 2,500 කි. මියගිය සහ අතුරුදන් වූවන් අතරේ රටවල් රැසක විදෙස් සංචාරකයෝ ද වෙති.

ජල ගැල්මට හසුවී, විපතට පත්වුණු 3,700 කට වැඩි පිරිසක් මුදා ගැනීමට නේපාල හමුදාව ඊයේ (30) සමත් වූ බව ද පැවැසීය. විදේශිකයන් 592 දෙනකු ඇතුළුව 2,502 දෙනකු පිළිබඳ තොරතුරක් නොමැති බව  නේපාල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.