IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


දත් අවලස්සන කරන කළු ඉර

කුරුණෑගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප‍්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය හර්ෂ මාරසිංහ

දත් වල පිටතින් හා ඇතුලතින් විවිධ වර්ගයේ කහට පැල්ලම් හට ගන්නා අතර එම කහට පැල්ලම් ඉවත් කිරීමට විවිධ උපක‍්‍රම පාවිච්චි කිරීමට සිදුවේ. කොතෙක් ඉවත් කළත් නැවත නැවතත් හට ගන්නා අපූරු ආකාරයේ කහට පැල්ලමක් දත් වල බහුලව හට ගනී. මෙම කහට පැල්ලමේ විශේෂත්වය වනුයේ  කළු පැහැ ඉරක් ලෙස විදුරුමස් දාරය ආසන්නයෙන් දත් වල බාහිරින් හෝ බොහෝ විට ඇතුල් පැත්තෙන් සියලූම දත් වලම පාහේ දැක ගත හැකි වීමයි.

 

මෙවැනි කළු පැහැ ඉරක් දත් වල හට ගැනීමට හේතුව කුමක්ද?

ප‍්‍රධානම හේතුව වනුයේ නිසි ලෙස දත් නොමැදීම නිසා විදුරුමස දාරය දිගට දත් ආසන්නයෙන් දන්ත පථ හෙවත් දත් මැලියම් එකතු වීමයි. ආහාර ගැනීමෙන් පසු හෝ පිටි හෝ පැණිරස අඩංගු ආහාර ගැනීමෙන් පසු දත් නොමැදීමත්, විශේෂයෙන් රාත‍්‍රී දත් නොමැද නින්දට යාමත්, නිවැරදිව දත් නොමැදීමත් වැනි හේතු නිසා විදුරුමස් දාරය දිගට දන්ත පථ එකතු වීම බහුලව සිදුවේ. මෙම දන්ත පථ විවිධ හේතූ නිසා වර්ණ ගැන්වීමෙන් කළු පැහැ ඉරක් ලෙස දිස්වේ. උදාහරණ ලෙස, බීමට ගන්නා තේ හෝ කෝපි හෝ කැෆේන් අඩංගු වෙනත් බීම වර්ග නිසා, යකඩ අඩංගු සිරප් පානය කිරීම නිසා, සමහර මුව සෝදන දියර නිසා මෙසේ කළු ඉරක් දත් වල හට ගනී.

     කෙසේ වුවද, මෙවැනි ආකාරයේ කළු ඉරක් දත් වල හට ගැනීමට ප‍්‍රධාන හේතුවක් ලෙස හඳුනා ගෙන ඇත්තේ මුඛය තුළ වාසය කරන මෙවැනි කහට නිපදවන බැක්ටීරියා විශේෂයක් බහුලව සිටීමයි. විශේෂයෙන් ඇක්ටිනෝමයිසිස් විශේෂයේ බැකිටීරියාවක් මෙම තත්ත්වයට හේතු වන අතර, මුඛය තුළදී ඔවුන්ගේ පරිවෘත්තීය ක‍්‍රියාවලිය නිසා හයිඩ‍්‍රජන් සල්ෆයිඞ් නිෂ්පාදනය වේ.මෙම හයිඩ‍්‍රජන් සල්ෆයිඞ්, ඛේඨයට ආහාර වලින් එකතු වන යකඩ සමග ක‍්‍රියා කිරීමෙන් ෆෙරික් සල්ෆයිඩ් නම් වූ කළු පැහැති සංයෝගය නිපදවෙයි. මෙම සංයෝගය විදුරුමස් දාරයේ බහුලව එකතු වන දන්ත පථය මත තැන්පත් වීමෙන් ඉහත කී කළු පැහැ ඉර පැල්ලමක් ලෙස හට ගනී.

 

කළු පැහැ ඉර බහුලව හට ගන්නේ කාගෙද?

සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා කාන්තාවන්ගේ දත් වල මෙම කළු ඉර හට ගැනීම බහුලව සිදුවේ. එසේම ප‍්‍රාථමික හා ස්ථිර දත් වල මෙම පැල්ලම භේදයකින් තොරව හට ගනී. විශේෂත්වයක් වනුයේ නිතර ඉවත් කළත් නැවත නැවතත් මෙම පැල්ලම කළු ඉරක් ලෙස ඇති වීමේ හැකියාවයි. සමහර විට හොඳින් දත් මදින, දත් දිරා යාම අඩු අයගේ පවා මෙම තත්ත්වය දැකිය හැකිය.

 

කළු පැහැ ඉර හට ගැනීම වළක්වා ගත නොහැකිද?

අප ගන්නා ආහාර වල යකඩ බහුලව අඩංගු වන විට එම යකඩ වලින් යම්කිසි ප‍්‍රමාණයක් රුධිරය හරහා මුව තුළ හට ගන්නා ඛේඨය හා එකතු වේ. ඛේඨයට මෙලෙස යකඩ එකතු වීම නතර කිරීම සඳහා  යකඩ අඩංගු ආහාර සීමා කිරීම කළ

නොහැකි වන්නේ, එමගින් රක්ත හීනතාව වැනි තත්ත්වය ඇති විය හැකි බැවිනි. ඒ සඳහා කළ හැකි පිළියම වන්නේ හයිඩ‍්‍රජන් සල්ෆයිඩ් නිෂ්පාදනය කිරීමට ඇති ඉඩ කඩ අවම කිරීමයි. මේ සඳහා උපක‍්‍රම ලෙස, නිසි ලෙස දත් මැද දන්ත පථය එකතු වීම වැළැක්වීමත්, පවුලේ සියලූ දෙනාගේ මුව සුවතාව ඉහළ දැමීමත්, බැක්ටීරියා හුවමාරු වීම වළක්වා ගැනීම සඳහා දත් බුරුසු වෙන් වෙන්ව තබා ගැනීමත්, පානය සඳහා වෙන් වෙන්ව කෝප්ප හෝ වීදුරු තබා ගැනීමත් යොදා ගත හැකිය.

 

කළු පැහැ කහට පැල්ලම ඉවත් කළ නොහැකිද?

කළු පැහැ ඉර දත් මත ඇති වූ පසු දත් මැදීමෙන් ඉවත් කිරීම අපහසු වන අතර, බොහෝ විට දන්ත වෛද්‍යවරයකු ලවා දත් පිරිසුදු කර ගත යුතුය. මේ සඳහා දත්  සීරීම හෝ දත් සීරෙන්නට ඉඩ ඇති ගනකම් අංශු සහිත දන්තා ලේප භාවිතය හෝ නොකළ යුතුය. සමහර විට දන්ත සායනයේදී දත් පොලිෂ් කිරීමට සිදුවිය හැක. සමහර අවස්ථාවලදී, සජීවී විරංජනය යොදා ගන්නා අවස්ථාද ඇත.

 

මෙම පැල්ලම හට ගැනීම වළක්වා ගැනීම සඳහා විශේෂයෙන් දත් මැදිය යුත්තේ කෙසේද?

සාමාන්‍යයෙන් ඔබ නිවැරදිව දත් නොමැද හෝ දත් කෙසේවත් නොමැද පැය 24 ක් ගිය තැනදී , දත් මත හෝ විදුරුමස දාරය දිගට ඇතිවන දන්ත පථය තුළ අහිතකර බැක්ටීරියා ජනාවාස වීම ආරම්භ වන අතර, පැය 72 ක් පමණ ගිය තැනදී දත් බුරුසුවකින් ඉවත් කළ හොහැකි ආකාරයට දත් මැලියම් ඇති වේ. නිතර කළු පැහැ ඉර සෑදෙන රෝගීන් තමන් නිවැරදිව දත් මදින්නේදැයි දන්ත වෛද්‍යවරයෙක් ලවා විමර්ශණය කරවා ගත යුතුය. එයට හේතුව වන්නේ බොහෝ දෙනෙක් විනාඩි 5 ක් හෝ ඊට වැඩි වේලාවක් හෝ දත් මැදිම සඳහා ගත කළත්, ඔවුන් විදුරුමස දාරය නිසි ලෙස නොමැදීමයි.විදුරුමස් දාරය පිරිසුදු නොකරන තාක් කල් දන්ත පථය හට ගැනීම අවම කර ගත නොහැකියි.

 

කළු පැහැ ඉර දන්ත සායනයේදි පිරිසුදු කර ගැනීමෙන් පසු අනුගමනය කළ යුතුදේ මොනවාද?

 දන්ත වෛද්‍යවරයා ලවා මෙම කහට පැල්ලම ඉවත් කර ගැනිමෙන් පසු එය නැවත හට නොගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රියා මාර්ග අනුගමනය කළ යුතුය.

පළමුව ඔබගේ දත් වල කළු ඉර හට ගැනීමට තුඩු දිය හැකි හේතුව හෝ හේතූ දන්ත වෛද්‍යවරයාගෙන් විමසා දැන ගන්න. එසේම යකඩ අඩංගු සිරප් වර්ග භාවිත කරන්නේ නම් පානයෙන් පසු හොඳින් දත් මැද පිරිසුදු කර ගන්න. දුම් පානයෙන් හෝ දුම්කොළ හැපිමෙන් වළකින්න. දත් මතුපිට රළු ස්වභාවයක් ගනී නම් දන්ත වෛද්‍ය වරයා ලවා නිවැරදි කර ගන්න. දන්ත එනැමලය ඛාදනයට ලක් වී දත මතු පිට ගොරෝසු විය හැකි නිසා නිතර ඇඹුල් සහිත ආහාර පාන ගැනීමෙන් වැළකිය යුතු අතර,එවැනි ආහාර පානයකින පසු මුව සේදිමටවග බලා ගන්න.

දෙවනුව දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගෙන නිසි අයුරින් මුඛයේ සුවතාව පවත්වා ගත යුතුය. දිනපතා උදේ සහ රාත‍්‍රී නින්දට පෙර නිවැරදිව ෆ්ලොරයිඩ් සහිත දන්තා ලේපයකින් දත් සහ විශේෂයෙන් විදුරුමස් දාරය මැදිය යුතුය.

තෙවනුව දත් වල විදුරුමස දාරය දිගට කළු පැහැ ඉර නිරීක්‍ෂණය කළ පසු දන්ත වෛද්‍ය වරයා හමු වී, එම පැල්ලම් ඉවත් කර ගත ගෙන පිළිපැදිය යුතු අමතර උපදෙස් විමසා දැන ගත යුතුය. අමතර ප‍්‍රතිකාරයක් ලෙස දත් සජීවී විරංජනය කර ගන්නා අයුරු විමසා දැන ගන්න.

සිවුවෙනුව, මුඛය තුළ අහිතකර බැක්ටීරියා අවම කරගැනීම සඳහා භාවිත කිරීමට සුදුසු හා සුදුසු නොවන මුව සෝදන දියර ගැන විමසා දැන ගන්න. සමහර අවස්ථා වලදී ප‍්‍රතිජීවක ඖෂධ භාවිත කරන අවස්ථාද ඇත.¡



අදහස් (0)

දත් අවලස්සන කරන කළු ඉර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32960 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15593 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 117 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site