(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ පළමු මාස හය තුළදී ඇමෙරිකානු ඩොලර් කෝටි 125.4 ක ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 41,971 ක් පමණ) වාහන ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හයෙහි මෙරට වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 318 කින් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 10,645 කින් පමණ) පහළ ගොස් තිබෙන බවද එම දත්ත වාර්තාවේ සඳහන් විණි.

එසේම මෙම වසරේ ජූනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 182 ක (රුපියල් කෝටි 6,093 ක් පමණ) වාහන ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවත් එය මෙම වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 27.1 ක එසේත් නැතිනම් රුපියල් කෝටි 2,276 ක වාහන ආනයන වියදමේ පහළ යාමක් බවත් මහ බැංකු දත්ත වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් පසුගියදා වසරේ ජූනි මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 163 ක (රුපියල් කෝටි 5,455 ක් පමණ) වාහන ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති අතර ඊට සාපේක්ෂව මෙම වසරේ ජුනි මාසයේ මෙරට වාහන ආනයන වියදම රුපියල් කෝටි 638 කින් ඉහළ ගොස් ඇත.

පසුගිය වසරේ පළමු මාස හය තුළදී මෙරටට ඇමෙරිකානු ඩොලර් කෝටි 157 ක (රුපියල් කෝටි 52,614 ක් පමණ) වාහන ප්‍රමාණයක් මෙරටට ගෙන්වා තිබිණි.