(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතිද්දී නව අඩු පීඩන කලාපයක් උතුරු අන්දමන් දුපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයයේ නිර්මාණය වී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පද්ධතිය එම ප්‍රදේශය ආශ්‍රිතවම පවතිමින් හෙට (24) වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වී අනිද්දා (25) වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, 26 වන දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරිදින කිහිපයේ දී අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.