(ටී.කේ.ජී.කපිල )

ඇමෙරිකා එක්සත් ජනපදයේ  පැවති 2024 ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනය සහ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු , ඔවුන් ඉදිරිපත් කළ නව නිර්මාණ සදහා සම්මාන හිමි කර ගෙන  කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (22) පැමිණියහ .

මෙම තරගාවලිය සහ ප්‍රදර්ශනය ඇමෙරිකා එක්සත් ජනපදයේ , ලොස් ඇංජලීස් නුවර ඉකුත් 11 සිට 17 දක්වා ලෝකයේ රටවල් 67 ක ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 1,700 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙහිදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ නදීශ ප්‍රතිභාන සිසුවා විසින් ඉදිරිපත් කළ රණවරා මල් වලින් දියවැඩියාව සුව කිරීමේ හැකියාව සොයා බැලීමේ පර්යේෂණ නිබන්ධනය සදහා " Comiunity Inovater "  සම්මානය හිමි වී තිබුණි .

එසේම කුළියාපිටිය සාරානාත් විද්‍යාලයේ චිරාත් සේනානායක නිර්මාණය කර ඉදිරිපත් කළ කරාමයකින් වතුර නිකරුණේ පිටතට ගලා යාම සහ ජල කරාමයක් අලුත්වැඩියා කිරීමේ දී ප්‍රධාන ජල සැපයුම් පාලන කරාමය ( Gate Valve ) වසා නොදමා අලුත්වැඩියා කර ගත හැකි වැඩි දියුණු කළ පර්සෙස් සොකට් එකක් නිර්මාණය කිරීම වෙනුවෙන් තිරසර සංවර්ධන භාවිතය සදහා වූ සම්මානය පිරි නමා තිබුණි .

එමෙන්ම නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ හර්ෂ මඩවල දිගු කාළීනව ඇදන් මත වැතිර ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට වැළදෙන ඇද තුවාල ඇති වීම වලක්වා ගැනීම සදහා හැකියාව ඇති මෙට්ට කවරයක් නිර්මාණය කිරීම සදහා සම්මානයක් හිමි වී තිබේ .