
(දයාරත්න ඇඹෝගම)
මෙවර 2024 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී සිටින පාසල් දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් එම දරුවන්ට සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ නොමිලේ අමතර පන්ති පැවැත්වීමේ වැඩසටහනක් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබේ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ අදහසක් අනුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය, අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය, ලංකා ගුරුසේවා සංගමය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ඇති අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වෙන පාසල් 55ක ක්‍රියාත්මක වන අතර සවස 02.30න් පසුව අදියර තුනක් යටතේ පංති පැවැත්වේ.
අලි ගැටලුව ඇති ප්‍රදේශවල පාසල් දරුවන්ට පළවන අදියරේ යටතේ සවස 02.30 සිට සවස 06.00 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. අනෙක් ප්‍රදේශවල දරුවන් සඳහා දෙවන අදියර වශයෙන් සවස 06.00 සිට රාත්‍රී 10.00 දක්වා පන්ති පැවැත්වේ. තුන්වෙනි අදියර යටතේ සතියකට එක් දිනක් සවස 06.00 සිට පසුදා උදෑසන 06.00 දක්වා මුළු රාත්‍රිය පුරා මෙම ඉගැන්වීමේ කටයුතු සිදු කරයි.
මේ සඳහා දරුවන්ගේ දෙමාපියන් හා පාසල් ගුරුවරුන්ගේ පූර්ණ ආරක්ෂාව හිමිවෙයි.
මීට අමතරව ප්‍රායෝගික විෂයයන් වන සංගීතය, නැටුම්, තොරතුරු තාක්ෂණය වැනි විෂයන් සඳහා සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වල එක් අධ්‍යාපන කොට්ඨාසයක ස්ථාන දෙකක් තෝරාගෙන විෂයන් හදාරන සියලු දරුවන් එම ස්ථාන දෙක සඳහා යොමු කොට උදෑසන 08.00 සිට සවස 04.00 දක්වා පුහුණුව ලබා දේ.
බොහෝ පාසල්වල ප්‍රධාන විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන්ගේ හිඟයක් පවතින බැවින් එම විෂයන් සඳහා ප්‍රවීණ ගුරුවරුන් පිට ප්‍රදේශවලින් ගෙන්වාගෙන මේ සඳහා යොදවා ගනු ලබයි.
මේ සඳහා සියලුම සම්පත් දායක ගුරුවරුන් ස්වේච්ඡාවෙන් මෙම වැඩසටහන සඳහා දායකත්වය සැපයීම විශේෂ කරුණකි. ඔවුන් මේ සඳහා කිසිදු මුදලක් අය නොකරයි
මේ වැඩසටහන ක්‍රියාත්ම කරන ආකාරය පරීක්ෂා කිරීම සඳහා පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා රාත්‍රි කාලයේ සිසු දරැවන්ට අධ්‍යාපනය ලබාදෙන අනුරාධපුර මහබුලංකුලම මහා විද්‍යාලයේ නීරික්ෂණ චාරිකාවක ඊයේ (12)දින නිරත විය.
මෙම අවස්ථාවට අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මහේෂි මංජරිකා හෙට්ටිආරච්චි, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක, වෙළද හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ සම්බන්ධිකරන ලේකම් ප්‍රියන්ත රත්නායක, ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිලධාරී අසේල විජේසිංහ, මහබුලංකුලම මහ විද්‍යාලයේ විදුහල්පති ටොරින්ටන් කුමාරසිරි යන මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
කළමනාකරණයේ දුර්වලත්වය...
විසේ ඇති ඌරෝ දවල් රෑ දෙකේම හාරනවා කියන්නේ ඕකට තමයි. ඔය බොරු වැඩ කරන්න එපා. පාසල් කාලයේදී දරුවන්ට හොඳට උගන්වන්න. ඔය වැඩෙන් ළමයි ලෙඩ වෙනවා. අර ජනාධිපතිතුමා බලයට එන්න ගලින් කියපු කිලෝ මීටර් 3 නේ ඉස්කෝල ටික පටන් ගන්න. ඒවා තමයි කළයුතු වැඩ. අන්තිමට ළමයින්ගේ විනයත් පිරිහෙනවා. මෝඩ කම් කරන්න එපා. ඕක වහාම නවත්වන්න. හරියට පැය 8 ක් විවේක ඇතිව උගන්වන්න.. මේ ළමයි බව මතක තියා ගන්න. ඕවා මනෝවිද්‍යාත්මකව ඉදිරියේදී මහා විපත්තිවලට මග පාදවනවා.. අනික ළමයින්ටත් ළමා කාලයක් තියෙන්න ඕනෑ. ඔය ආණ්ඩුකාර මෝඩයින් ඕවා දන්නේ නැහැ. හිතං ඉන්නේ ආපු කමන් කවුරුවත් නොකරපුවා කරන්න. අධ්‍යාපනය ඔහොම ලබාදෙන්න බැහැ..
දවසක බලන්න කෝ උතුර, උතුරු මැද පළාත්වල ළමයි ඉහළටම යනවා. ටියුෂන් ලේ බොන බස්නාහිර, දකුණේ ළමයි මොට වෙනවා වගේම දෙමව්පියන්ගේ සේසතම නැති වෙනවා. සාමාන්‍ය ළමයෙක්ට මාසෙකට දෙමව්පියන් රුපියල් 10,000කට වඩා වියදම් කරනවා ටියුෂන් වලට විතරක්. ළමයි 3ක් නම් 30,000යි. මාසේ පඩියත් ඉවරයි. හැබැයි ඒ ටියුෂන් ගුරා ලා පදින්නේ ලැම්බෝගිනි හැබැයි සමහරු උසස් පෙළත් අසමත්. ඒ වගේම රජයට බදු ගෙවන්නෙත් නෑ.
නියම වැඩක්... අර දකුණේ ලංකාවෙන්ම එක වෙන්න කියලා පහළ පන්තිවල ළමයි ෆේල් කරකර ළමයින්ව අනාථ කරන වැඩේට නියම උත්තරයක් දකුණේ අන්තිමට හිටපු අධ්‍යාපන ඇමැතියා පටන් ගත්තු ඒ වැඩේ තාමත් එහෙම්ම කරගෙන යනවා. ඒකෙන් දකුණු පළාතේ දරුවෝ අපරාධවලට යොමුවෙනවා වැඩියි... නිව්ස් බැලුවාම ඒක පේනවානේ..
දරුවන් යහ මගට ගැනීමට වෙහෙසෙන ඔබට අපගේ උත්තමාචාරය...!
බොරු වැඩ...!