ආනයනික අතිරේක භෝග 15ක් රට තුළ ප්‍රවර්ධනය කිරීමේ “දීපව්‍යාප්ත සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන” වැඩපිළිවෙළට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් මණ්ඩල ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ගෝලීය වසංගතයක් වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරසය හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට පිළියමක් වශයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. මෙහිදී ගෙවතු දස ලක්ෂයක් වගා කිරීම අරමුණ බවද ප්‍රකාශිතය.
අනතුර කල් ඇතිව දකින ඉසිවර නුවණක් ඇවැසි බව ඉතිහාසයේ අන් කවරදාටත් වඩා අද දවසේ ඔප්පු වී හමාරය. විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීමේ සිරිතට තිත තැබිය යුතුය. “අවදානමට වඩා සූදානම යෙහෙකි” බව අපේ මුතුන් මිත්තන් ප්‍රකාශ කළේද එහෙයිනි.
මේ සටහන තබන මොහොත වනවිටත් අප රටේ ගුවන් තොටුපළවල් වසා තිබේ. වරායන් වසා තිබේ. මේ කවදා විවෘත කළ හැකිවේදැයි අනුමාන කළ නොහැකි තරම්ය. ඇල්පෙනෙත්තක් හෝ නිෂ්පාදනය නොකරන මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කරනු ලබන රටකට ගුවන් තොටුපළවල් හා වරායන් වසා දැමීමෙන් මුහුණ දීමට සිදුවන පීඩාකාරී හා අන්තරායකාරී තත්ත්වය අමුතුවෙන් පැහැදිලි කළයුතු නැත.
විශේෂිතම කාරණාවක් තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නා නිල රටවල් සංඛ්‍යාවද ඉක්මවා කොරෝනා මාරාන්තික වයිරසය පැතිර තිබේ. බලවත් යැයි සම්මත, පිළිගන්නා බොහෝ රටවල තත්ත්වය අප රටේ තත්ත්වයට වඩා බෙහෙවින් සැහැසිය. වෙනත් රටකට උදව් උපකාර කිරීමේ හැකියාවක් තවත් බොහෝ කලක් යනතුරු එම රටවලටද අත්පත් කරගත නොහැකිය. අප රටට ඉදිරියේදී මුහුණපෑමට සිදුවන අනතුරෙහි දිග-පළල එපරිදිය.
බත බුලතින් සරුසාර වූ ඉසුරුමත් ආර්ථිකයක් දුරාතීතයේ අප රටෙහි පැවතිණි. ගෝලීයකරණයත්, නව ආර්ථික ප්‍රවණතාත් හමුවේ අපගේ ඒ ඉසුරුමත් බව අපට අහිමි වී ගියේය. විශ්වයම එකම පවුලක් බවට පත්ව ඇති ගෝලීයකරණය හමුවේ පවුලේ ඒ ඒ සාමාජිකයන්ට තම තමන්ගේ පැවැත්ම තම තමන්ටම සකස් කර ගැනීමේ වගකීම පැවරී තිබේ.
අභියෝගය වඩාත් බැරෑරුම්ය. එමෙන්ම දරුණුය. එහෙත් පසුබා යාම අපට තරම් නොවේ. අපි ජාතියක් වශයෙන් විවිධ කාලවකවානුවල විවිධාකාර වූ අභියෝගවලට මුහුණ දී ඇත්තෙමු. එහෙත් ඒ සෑම අභියෝගයක්ම ජය ගැනීමට අපට හැකිවිය. ඒ අභියෝගය යනු අවස්ථාවන් ලෙස අප සැලකූ හෙයිනි. රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අප සතු ශක්තිය කොතරම්දැයි උරගා බැලීමේ අවස්ථාවක් බවට අපි අභියෝග යොදා ගත්තෙමු. ඉතිහාසය ආපිට කැරකි නැවතත් පැමිණ තිබෙන්නේ එතැනටමය.
මහින්දාගමනයත් සමග අප ජාතියට බෞද්ධ ආර්ථික දර්ශනය හිමිවිය. ධාර්මික ධනෝපායන අර්ථක්‍රමය ලෙස කෘෂිකර්මාන්තය අපි වැළඳ ගත්තෙමු. එහෙත් මුඩුබිම් සරුබිම් බවට පත් කරමින් බත බුලතින් රට සරුසාර කිරීමට නම් ජලය අවශ්‍ය වේ. අහස් ජලය හැර අන් ජලයක් අපට නොවීය. අහස් ජලයද සෑම කාලයකම නොලැබෙන්නේය. එය අභියෝගයක් වශයෙන් පෙර රජ දරුවෝ බාර ගත්හ. ඒ අනුව අහසින් වැටෙන එක ජල බිඳක් හෝ නිරපරාදේ මහ මුහුදට ගසාගෙන යාමට ඉඩ නොදී ඒ ජලය එක්රැස් කර තබා ගැනීම පිණිස මහ වැව් ඉදි කළහ. වැව් හෑරූ පස්කඳු අහස සිඹින මහ දාගැබ් බවට පත්විය. ජනාවාස ඉදිවූයේ සයුර පරයන ඒ වැව් ආශ්‍රිතවය. ගමයි, පන්සලයි - වැවයි දාගැබයි, නිල් ගොයමයි අපේ රටේ ශිෂ්ටාචාරය ඔදවත් කළේය. අදටත් අප පූජනීයත්වයෙන් සලකන්නේ ඒ අභිමානවත් ශිෂ්ටාචාරයෙන් නිපැදුණ මහා සංස්කෘතික උරුමයන්ය.
පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලියෙන් අප රට වර්ණවත් වූයේ ඒ අතීත යුග පුරුෂයන්ගේ තුන්කල් දක්නා ඉසිවර නුවණින් පැමිණි ගමන් මාවත නිසාය. 21 වැනි සියවසේ ගෝලීය වසංගතයක් ඉදිරිපිට අපට යළිත් යාමට සිදුවී තිබෙන්නේ ඒ අතීත උරුමය වෙතය. මෙය එක් අතකින් අභියෝගයක් නොව ඉතිහාසයක් පුරා පැමිණි ගමන් මගේදී උවමනාවෙන් අතහැර දමා පැමිණි උරුමයන් සම්බන්ධ සිහිකැඳවීමකි. “ඉතිහාසය විසින් මග දමා ආ හැම දෙයක්ම වර්තමානයට බර වැඩි” යැයි කියන්නේ එහෙයිනි.
ලොව ලොකුම ගින්න බඩගින්නය. ඒ බඩගින්න නිවා ගැනීමේ නිශ්චිත, ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබිය යුතුය. ගෝලීයකරණයේ බොත්තම එබූ සැණින් අපේ ආහාර සලාකය අපට අහිමි වේ නම් අප සිටින්නේ ඉතා දරිද්‍රතාවයකය. එය එසේ නොවී අල්ලපු රටටත් කන්න බොන්න දිය හැකි තරමට මේ නවමු පොළොව අපට අස්වැද්දිය හැකිය. ඒ අර්ථයෙන් අපි ඉතිහාසය අලුතෙන් ලිවීම ආරම්භ කරමු.
COMMENTS
ලංකාවේ සිටින උපාධි ධාරින්ගෙන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ කෘෂි උපාධි ධාරින්ය. නමුත් ලංකාවේ අවශ්‍ය ප්‍රමානයකට වැඩියෙන් නිලධාරීන් සිටියත් ලංකාවේ කිසිම ගොවි ජනසේවා මධ්‍යස්ථානයක් වත් නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. ඔය කියන ඕනෑම ගොවිජනසේවා මධ්‍යස්ථානයකට යන පුද්ගලයෙකුට උසස් තත්වයේ පොල් පැල 10 වත් මිලදී ගැනීමට එහි නැත. එම නිලධාරින් විසින් පුද්ගලික පොල් පැල තවාන් වල ලිපිනයන් ඔබට ලබාදෙනු ඇත , ඔවුන් ඔබගේ නම ලිපිනය ආදී තොරතුරු ලබාගෙන ඔබ ඉදිරියේදීම පැල තවාන අමතා ඔබට අවශ්‍ය පැල ඇනවුම වෙන්කරදීම සිදුවේ (ඔවුන් කොමිස් එකක් ගැනීම හැමෝම දන්නා රහසකි ) ගොවිතැනට අවශ්‍ය කිසිම බිජ වර්ගයක් ඔවුන්ගෙන් ලබාගත නොහැක..., නමුත් පුද්ගලික බිජ විකුණන කඩ වලට කතාකර අවශ්‍ය බිජ වර්ගය , ප්‍රමානය වෙන්කර දීමට තරම් ඔවුන් කාරුණික වනු ඇත. ජනපතිතුමාට රට කෘෂිකර්මයෙන් ස්වයන්පොෂිත කිරීමට අවශ්‍ය බව සත්‍යයකි. නමුත් මෙම නිලධාරීන් සමග එය කල නොහැක. පැල බෙදා දීමට යුධ හමුදාව යෙදවීම හැර වෙන විකල්පයක් නැත.
මේ විකාර නොවේ කරන්න ඕන. වගා කරන ගොවියන්ගේ පලදාව වෙළදපලට අතරමැදියන්, කප්පම් කාරයන්ගෙන් තොරව එන්න ක්‍රමයක් හදන එක. අපි වැඩ කරන්නයි වගා කරන්නයි උයාගෙන කන්නයි ළමයින්ගේ වැඩ කරන්නයි බස් වල පැය ගණන් රස්තියාදු වෙන්නයි ඕන. දවසකට තියෙන්නේ පැය 24. සති අන්තේ විතරක් වගාවට ඇරිලා හරියන්නේ නැ. වගා කරනවානම් ඒවාට කැප වෙලා කරන්න ඕන. ඔය කියනතරම් ලේසි නැ. කෘමි නාශක, පොහොර වතුර අනෙකුත් දේවල් නියම වෙලාවට යොදන්න ඕන. අනික අපි වවාගත්තම වගාකරන ගොවීන් මොකද කරන්නේ? ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? අලුත් වටයකින් අපිව අන්දන්න හදන්නේ මේ දේශපාලුවෝ. ඒ අයට කරන්න බැරිනම් ගෙදර යන්න පුළුවන් කෙනෙකුට දීලා.
හැමදේකටම හමුදාව? අනර්ග ඉල්ලන් කෑමක් කන්න යන්නේ. ටිකක් හොයල බලන්න හමුදාවෙන් හැමදේම කරන්න ගිය රටවල් වලට මොකද උනේ කියල....
හොඳ කතුවැකියක්. ආණ්ඩුව ඇට හෝ පැල වර්ග දෙනකම් ඉන්න ඕනේ නැහැ. තමන්ගේ ආහාර ගෙදරම වවා ගන්න එක හරි ලේසියි. ඒ කියන්නේ ඉස්සර ගම්වල වවපු විදිහට. කොහොමද? ගස්ලබු ගෙඩියක් කපපුවහම ඇට ටික කුණු බක්කියට දාන්නේ නැහැ. වත්තේ නිකම් කෝට්ටකින් කුරුටු ගාල ඇට ටික දැම්මත් හරි ඉක්මනට පැල වෙනවා. කරවිල ඇට, වට්ටක්ක ඇට, තක්කාලි ගෙඩිය බෙරිවෙලා වේලෙන්න ඇරලා ඇට ටික ගන්න පුළුවන්. මාළු මිරිස්, නිකම් මිරිස්, ඉදෙන්න ඇරලා ඇට ටික ගන්න පුළුවන්. ඉඟුරු කෑල්ලේ මොටෙයියන් හැදෙන කොටසෙන් කෑල්ලක් කපල ඉන්දන්න පුළුවන්. සුදුළූණු බික් ටිකක් මුල පැත්ත පහලට වෙන්න ඉඳන්න පුළුවන්. කංකුන්, මුගුණුවැන්න, නිවිති මිටිවල කපලා අහක දාන මෝරපු කොටස ඔක්කොම හිටවන්න පුළුවන්. වැල් ගොටුකොල මිටියේ මුල් ටික හිටවන්න පුළුවන්. (වැල් ගොටුකොල ගහේ කොටස් 5ම අරගෙන කතා නොකර කොටලා ඒ ඉස්ම උඳුගොව්ව කාපු තැන්වල ගැවහම හොඳ වෙනවලු. මේක රහස් කෙමක් කියල අපේ සීයගේ පරණ පොතක ලියල තිබුන.) තව අලිපේර ගෙඩිය කාල ඇටය හිටවන්න පුළුවන්. හැබැයි අලිපේර නම් පැල දෙකක් කිට්ටුව හිටවන්න ඕනේ ගෙඩි එන්න. මේවා සාමාන්‍යයෙන් හැමෝම දන්නා දේවල්. තව රම්පා, කරපිංචා, සේර. බන්ඩොක්කා. බැදලා උයල හරි රසයි.
අනාගත ආහාර අර්බුදයක් ගැන කල් තියල අනතුරු අගවලා මේ කර්තව්‍යය ආරම්භ කරපු, මිනිසුන්ට දැනෙන ලෙස කතා කරලා ගෙවතු වගාවට යොමු කරවපු, තුන් කල් නුවනින් දකිනා ඒ අසහාය නායක මහින්ද රාජපක්ෂ මැතිදුන්ට මේ පිළිබද ගෞරවය යා යුතු නොවේද?
රුපවාහිනී චැනල් මගින් දිනපතා ගෙවතු වගාවන් කරන අන්දම පිළිබද වැඩසටහන් දිනපතා ප්‍රචාරය කරන්න පුළුවන්...
මේ කොරෝනා ප්‍රශ්නය ඉවර වුන ගමන් පසුගිය අවරුදු 10 ගොවිජනසේවා දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය ගැන විශේෂයෙන් සොයා බලන්න අවශ්‍ය වෙනවා. රජයෙන් වැටුප් ලබමින් කාර්යාලේ ඉන්න වෙලාවට අන්තර්ජාලයේ සැරිසරමින් පුවත්පත් බලමින් ක්ෂේත්‍රයේ යනවා කියලා වෙනත් පුද්ගලික වැඩ කටයුතු කරමින් ගොවිජන සේවා එකේ තවාන් හිතා මතාම පාලුවට යන්න හැරලා තමන්ගේ පුද්ගලික පැළ තවන් ප්‍රවර්ධනයට කටයුතු කරන බහුජාතික සමාගම් වල නිල නොලත් ඒජන්තලා ලෙස කටයුතු කරන නිලධාරීන් ගැන රජයේ බුද්ධි අංශ යොදවලා සොයා බලන්න ඕනේ. වැරදි කරලා තිබෙනවානම් වහාම සේවයෙන් නෙරපලා අලුතෙන් පිරිසක් පත්කරගන්න ඕනේ. නැතිනම් අපට ඉන්න වෙන්නේ බඩගින්නේ ගොවිජනසේවා එකෙන් වැඩක් කරගන්න ගියහම පොල් මහත්මය අද නිවාඩු. ලබන සතියේ එන්න වැනි දේවල් කියමින් අපව රස්තියාදු කරනවා. මෙගොල්ලගෙන් වැඩි දෙනෙකුට කෘෂිවිද්‍යා උපාධියක් තිබෙනවානම් පොල් හෝ වී ගැන පමණක් දැනගෙන ඉන්න බැහැ. අනිත් දේවල් ගැනත් වැටහීමක් තිබෙන්න ඕනේ.
මෙහි අදහස් ලියා ඇති විශාරදයෙනි , ආහාර අඩු වෙනකොට අපේ සිහලයට මාර මොළ පෑදෙනවා රට නැවත යථා තත්වයට පත්වී යනකොට... නිකන් කටින් බතල හිටවන්න එපා . වගාව හැල්ලුවට දන්නා එපා. එක ඔය ලියන තරම් පහසු නැහැ .
ඇයි ආනයනික බෝග ? අපේ රටේ දේවල් අගේ නැද්ද ? එතකොට දේශීය දේ රැකෙනවද?
මේක ටිකක් භයානක විය හැකියි. රටපුරා සිටින ගොවියන් සහ පුද්ගලික සමාගම් /වැවිලිකරුවන් සසම්බන්ධකොට සමාගම් මගින් ගොවියන්ට වගා කිරීම සදහා අවශ්‍ය මුදල් පොහොර ලබාදී ඉන් ලැබෙන අස්වනු සමාගම් මගින් මිලදී ගැනීමේ පිළිවෙතක් ක්‍රියාත්මක කළ යුතු වේ.
100% ක් ඇත්ත. වගා කරන ගොවියන්ගේ ඵලදාව වෙළදපලට අතරමැදියන්, කප්පම් කාරයන්ගෙන් තොරව එන්න ක්‍රමයක් හදන එක.....
මෙය සිදු කිරීමට කොරෝනා වැනි දෙයක්වත් මුල්වීම කමක් නැත. ගොවීන් ලංකාවේ ගොඩ යාමටනම් එහි ඇති උඩු-දුවා ගිය අතර මැදියන් වහාම ගලවා දැමීම අඅවශ්‍ය වේ. ලංකාවේ හැමතැනම ඇති ගොවියන්ගේ ඵලදාව ගසා කන අතරමැදියන්, කප්පම් කාරයන්ගෙන් තොරව එන්න ක්‍රමයක් ඕනේමය. පොල් හිග කාලයක හමුදාව දමාවත් පොල් කෙලින්ම විකිණීමට දෙන්නේ නැති රටකි මෙය. ගොවීන් ආපු කුලී වාහනත් ගසා, කුඩු කරන මර-අතරමැදියන් අපගේ වගාවන් වසාගෙන ඇත. ප්‍රශ්නය මුලුමනින්ම හදුනා ගත යුතුය. අසරණ ගොවීන්ට කෙලින් ලගාවිය හැකි ක්‍රම ලබා දිය යුතුය.
ආහාර ලංකාවේ ප්‍රශ්නයක් නොවේ. කොස්, දෙල්, අල, බතල කාලා මිනිසුන්ට ජීවත්විය හැකියි.
පෙරදිග ධාන්‍යාගාරය අපරදිගට දීමේ ප්‍රතිපල. එදා (1700 - 2020) සිට මෝඩ වූන අපි තවමත් මෝඩයි. තවමත් තමන්ගේ දේවල් අගය කරන රටවල් තිබේ.